කෘෂිකාර්මික කටයුතුවලදී වගා කටයුතු ආරක්ෂා කරගැනීමට අනුගමනය කළ යුතු ඡ්‍යොතිෂ උපදේශනය

නොවැම්බර් 27, 2020

වසර 2500 කටත් වඩා පැරණි ලංකාවේ ග්‍රාමීය කෘෂිකාර්මික කටයුතු විමර්ශනය කිරීමේදී පෙනීයන්නේ වගා කටයුතු සහ ඡ්‍යොතිෂය අතර මනා සබඳතාවයක් පැවති බවයි.

එසේම එය ග්‍රාමීය සංස්කෘතිය සමඟ ද ප්‍රශස්ත ලෙස සුසංයෝජනය වී පැවතුණි. මේ නිසාම එවකට කාබනික පොහොර භාවිතය මෙන්ම රෝග සහ කෘමින් පාලනය කිරීම සඳහා ද පරිසර හිතකාමි ශාකසාර යොදාගෙන ඇත. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ස්වාභාවික පරිසර පද්ධතියද ආරක්ෂා කර ගත හැකි විය.

එහෙත් හරිත විප්ලවය යටතේ විවිධ කෘෂිකාර්මික නවීකරණ විසරණයත් සමඟ එම වගා කටයුතු ඡ්‍යොතිෂමය නියමයන්වලට අනුකූලව සිදු කිරීම ක්‍රමයෙන් අභාවයට ගිය අතර රසායනික පොහොර සහ කෘමිනාශක භාවිතයත් සමඟ දැඩි පාරිසරික හානියක් සිදු වී ඇති අතර ගොවීන්ට ද විවිධ අපහසුතා මෙන්ම ගැටලු රැසකට මුහුණ පෑමට සිදු වී ඇති බව පෙනේ. විශේෂයෙන් විෂ රසායනිකයන් නිසා වැලඳෙන ලෙඩ රෝග ද ක්‍රමයෙන් වැඩි වෙමින් පවති. කෙසේ වෙතත් තවමත් ලංකාවේ සමහර ප්‍රදේශවල මෙම ඡ්‍යොතිෂමය මඟ පෙන්වීම් භාවිතා කරන අතර සාර්ථක ලෙස කෘෂි කටයුතු පවත්වාගෙන යාමට හැකිවී ඇත.

ඉන්දියාව, චිනය මෙන්ම සමහර අග්නිදිග ආසියාතික රටවල ද මෙම ක්‍රම භාවිතා කරන අතර එමඟින් වගා කටයුතුවල සාර්ථකත්වය පවත්වාගෙන යාමට හැකිවී ඇත. ජ්‍යෝතිෂයට අනුව වගාකටයුතු පවත්වාගෙන යාම යනුවෙන් අදහස් කරන්නේ හුදෙක් ග්‍රහ වස්තූන්ගේ සිදු වෙන චලිතයට අනුව ක්‍රියාත්මක වන සොබාදහමට අදාළ නිමයන්වලට ගැළපෙන ලෙස වගා කටයුතු සකස්කර ගැනීම තුළින් ඒවා ආරක්ෂා කර ගැනීම සහ වැඩි අස්වැන්නක් ගැනීමයි. මෙය තිරසර සංවර්ධනයේ එක් පදනමක් වේ.

මෙම ඡ්‍යොතිෂමය උපදේශනය යටතේ පළමුවෙන්ම වැදගත්වන්නේ රාශි චක්‍රය (zodiac) ඔස්සේ වර්ෂයක් තුළ ග්‍රහලෝක දක්වන ගමන නැත්නම් චලිතය සැලකිල්ලට ගෙන වගා කටයුතු සඳහා වඩාත් උචිත දිනයක් තෝරා ගැනීමයි. ග්‍රහයන්ගේ මෙම ගෝචර ගමන පිළිබඳ විස්තර දින පතා මෙන්ම සතිපතා පළ වන ජ්‍යෙතිෂ පුවත්පත්වලින් මෙන්ම වෙනත් ජනමාධ්‍යයන් තුළින් හෝ පවුලේ ඡ්‍යොතිර්වේදියාගෙන් ලබාගත හැකිය.

එසේම ප්‍රකාශයට පත් වී ඇති පංචාංග ලිත්වල ද මෙම විස්තර සඳහන් වේ. පළමුවෙන්ම ඡ්‍යොතිෂයට අනුව වගා කටයුතුවලට සතියේ දින බලපාන ආකාරය විමසා බලමු .එය පහත දැක්වේ.

ඉරිදා දින වගා කටයුතු ආරම්භ කළ විට- අවශ්‍ය ප්‍රමාණයට ජල පහසුකම් නොලැබී වගාව දුර්වල වේ. නැත්නම් වගාබිමට ජලය ගැනීමට විවිධ බාධා සිදු විය හැකිය

සඳුදා දිනවල වගා කටයුතු ආරම්භ කළවිට- ගොයමි ඇතුළු අනෙකුත් බෝග හොඳින් වැඩුණත් අස්වැන්න අඩු විය හැකිය

අඟහරුවා දිනක වගා කටයුතු ආරම්භ කළවිට කරන ලද වගාවන් මෙන්ම වගා භූමිය ද අනපේක්ෂිත ලෙස පාළුවිය හැකි බැවින් එදිනට ගැළපෙන බෝග පමණක් තෝරා ගත යුතුවේ.

බදදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා සහ සෙනසුරාදා දිනවල වගා කටයුතු ආරම්භ කළ විට- එම වගාවෙන් අපේක්ෂිත පරිදි වැඩි අස්වැන්නක් ගත හැකි අතර වගා බිම් ද මැනවින් ආරක්ෂාවේ.

මීළඟට වැදගත් වන්නේ එක් එක් බෝග වගාවන් සඳහා උචිත දිනය සහ පවතින නැකත තෝරා ගැනීමයි. මෙහිදි ග්‍රහයන්ගේ ගෝචර ගමනට ප්‍රධාන තැනක් හිමිවේ.

මුං වැපිරීම - සඳු පුර පක්ෂයේ සිටින සිකුරාදා දිනයක – කුම්භ ලග්නය සහ මුවසිරස නැකත මෙන්ම බුධගේ හෝ ගුරුගේ හෝරාව සුදුසුවේ.

තල වැපිරීම – අනුර නැකත පවතින දිනයක් වඩාත් උචිතය

කුරහන් වැපිරීම – මේ සඳහා වඩාත් යෝග්‍ය වන්නේ – සා නැකත යෙදෙන අඟහරුවාදා දිනයන්ය

වී වගා කටයුතු ආරම්භ කිරීම සඳහා බොහෝවිට පංචශුද්ධියට අනුව ශුභ හෝරාවක් තෝරාගනු ලැබේ. සාමාන්‍යයෙන් මේ සඳහා වැඩි වශයෙන් ඉරිදා දිනයන් යොදා ගනී.

ඕනෑම බීජ වර්ගයක් වගාකිරීම සඳහා සුදුසු නැකත් වන්නේ- හත, සිත, සා, මා,පුෂ,උත්‍රසල, උත්‍රපුටුප, රෙහෙන,රේවති ,අස්විද,මූල සහ අනුර යන නැකත්ය.

සී සෑම සඳහා වඩාත් උචිත වන්නේ – සඳු සිංහ රාශියේ පවතින දිනවල- රෙහෙන, පුනාවස ,පුෂ හත ,අනුර, මූල, උත්‍රසල, උත්‍රපුටුප යන නැකත් සහ මිථුන, කටක, මකර හෝ මීන යන ලග්නයන් සුදුසුවේ.

වෘශ්චික නම් ගින්නෙන් විනාශ වන අතර කුම්භ නම් සොරසතුරු උවදුරු ඇතිවේ

වෘෂභ සහ තුලා ලග්න පවතින දිනයන් මල් වගාවට සුදුසුය

ධනු සහ මීන ලග්න පවතින බහස්පතින්දා දින පලතුරු පැළ වගාවට සුදුසුවේ.

කාල වර්ණ ධානය වර්ග වගාව සඳහා සුදුසු වන්නේ මකර සහ කුම්භ ලග්න පවතින දිනයන්ය තක්කාලි වගාව සඳහා සඳු අව පක්ෂයේ සිටින කටක සහ මකර ලග්න ලැබූ දිනයන් සුදුසුවේ.

මීට අමතරව පහත දැක්වෙන ලග්න ලැබූ දිනයන් ඊට ඉදිරියෙන් දක්වා ඇති වගාවන් සඳහා යෝග්‍ය වේ.

මේෂ ලග්නය - සුදුලූනු

වෘෂභ ලග්නය – අර්තාපල්, බීට්, ලීක්ස්

මිථුන ලග්නය – කිසිදු වගා කටයුත්තක් සඳහා සුදුසු නැත - මෙය නපුංසක ලග්නයකි

කටක ලග්නය – බෝංචි, ගෝවා, තිරිඟු, පිපිඤ්ඤා, තක්කාලි කැපූ මල් වර්ග සහ ධාන්‍ය වර්ග

සිංහ ලග්නය  – කිසිදු වගා කටයුත්තක් සඳහා සුදුසු නැත

කන්‍යා ලග්නය – විවිධ මල් වර්ග

තුලා ලග්නය - තිරිඟු, ඉරිඟු, රයි ,බාර්ලි, වී සහ ක්‍ෂේත්‍ර බෝග වර්ග

වෘශ්චික – ලග්නය - සුදුලූනු, ලොකු ලූනු, රතු ලූනු යනාදිය

ධනු ලග්නය - ලික්ස්, සුදුලූනු

මකර ලග්නය – අර්තාපල්, බීට්, නෝකෝල්, රාබු, බීට් යනාදිය

කුමිභ ලග්නය -– කාල වර්ණ ධාන්‍ය වර්ග

මීන ලග්නය - පිපිඤ්ඤා, වටිටක්කා, කොමඩු, කැරට් යනාදිය

ඉහත දක්වන ලද කරුණුවලට අමතරව චන්ද්‍ර කලාවන් වගා කටයුතු කෙරෙහි දක්වන සුවිශේෂි ජ්‍යෝතිෂමය බලපෑම පහත දැක්වේ. මෙහිදී සැලකිය යුතු කරුණක් වන්නේ අනෙකුත් ග්‍රහ වස්තුන්වලට වඩා සඳු ග්‍රහයා වගා කටයුතුවල සාර්ථකත්වය කෙරෙහි දක්වන බලපෑමයි. රාශි චක්‍රය ඔස්සේ වර්ෂයක් තුළ ග්‍රහලෝක දක්වන ගමන

නැත්නම් චලිතය සැලකිල්ලට ගෙන ජෝතීර්ෙවිදින් අනාවැකි පළ කරන අතර එයට කේන්දර පරීක්‍ෂාවේදී ප්‍රධාන තැනක් දී ඇති බව පෙනේ. පෘථිවිය තම අක්ෂය වටා භ්‍රමණය වෙමින් සූර්යා වටා පිහිටි කක්ෂය මත පරිභ්‍රමණය වන්නා සේම සඳු ග්‍රහයා ද තම අක්ෂය වටා භ්‍රමණය වෙමින් පෘථිවිය වටා පිහිටි කක්ෂය මත පරිභ්‍රමණය වේ. මෙම පරිභ්‍රමණ කාලය දින 27 32 ක් වන අතර එය සූර්යා සමඟ ගැළපීමෙන් දින 29 කින් යුත් චන්ද්‍ර මාසයක් ලෙස යොදාගෙන ඇත. මෙම චන්ද්‍ර මාසය තුළ සඳු ග්‍රහයා දක්වන චලිතයට අනුව ප්‍රධාන චන්ද්‍ර කලාවන් 4 ක් හඳුනාගත හැකිය. එනම් පුර අටවක, පසළොස්කවක ,අව අටවක සහ අමාවක වශයෙනි.

මෙම එක් කලාවකට දල වශයෙන් සතියක පමණ කාලයක් ගතවේ. ඡ්‍යොතිෂයට අනුව මෙම කලාවන් සෘජු ලෙස වගාවන්ට අයත් උද්භිද විද්‍යාත්මක අංශය සමඟ බැඳී පවතින බැවින් ඊට අනුකුලව වගා කටයුතු සකස්කර ගැනීම තුළින් වගාව ආරක්ෂා වන අතර ඉහළ අස්වැන්නක් ගැනීමට ද හැකිවේ. එලෙස වගා කටයුතු සකස් කර ගන්නා ආකාරය පිළිබද විස්තර පහත දැක්වේ.

පුර අටවකට අයත් සතිය

මෙම කාලය තුළ ක්‍රමයෙන් සඳ එළිය වැඩිවෙමින් පවතින අතර එය පැළෑටිවල වර්ධනයට බෙහෙවින් හිතකරය. මේ නිසාම මෙම කාලය උචිත වන්නේ බීජ අඩංගුවන බෝග වර්ග වගා කිරීම සඳහාය. නිදසුනක් ලෙස බෝංචි ,මෑ ,කොමඩු ,,වට්ටක්කා, තක්කාලි වැනි එළවළු වර්ග දැක්විය හැකිය.

පුර පසළොස්වකට අයත් සතිය

මෙම කාලය තුළ සදුගේ බලය ඉහළ මට්ටමින් ලැබෙන අතර මෙම කාලය වඩාත් සුදුසු වන්නේ අල වර්ග වගාවන් සඳහාය. නිදසුනක් ලෙස බීට් ,අර්තාපල් ,කැරට් ,ලූනු ,බතල, මඤ්ඤොක්කා සහ කිරි අල යනාදිය දැකිවිය හැකිය.

අව අටවක සතිය

මෙම කාලය තුළ කළ යුත්තේ අලුතින් වගා කටයුතු ආරම්භ කිරීම නොව පවතින වගාවන්ට අදාළ වන ලෙස පස බුරුල් කිරීම, වල් නෙළීම ,පොහොර යෙදීම, කප්පාදු කිරීම, කොරටු සෑදීම වැනි නඩත්තු කටයුතු පවත්වාගෙන යාමය

අමාවක සතිය

මෙම කාලය වඩාත් යෝග්‍ය වන්නේ ශාකවල පිටතින් මල් මගින් ඇට හෝ බීජ හටගන්නා බෝග වර්ග වගා කිරීම සඳහාය. නිදසුනක් ලෙස නිවිති වර්ග, ගෝවා වර්ග සහ සලාද වර්ග මෙන්ම සමහර ධාන්‍ය වර්ග දැක්විය හැකිය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.