රජ මැදුරත් දුගී පැලත් හිමි කර දෙන ස්ත්‍රී කේන්ද්‍රයේ ග්‍රහ පිහිටීම්

නොවැම්බර් 20, 2020

තොටිල්ල පදවන හස්තය ලොව පාලනය කරයි’ යන කියමන බිහි වූයේ ඉබේම නොවේ. ඉන් මහා අර්ථයක් ලොවට ගෙන එනු ලබයි. ස්ත්‍රියකට මෙලොව කළ නොහැකි දෙයක් ද නැත. ඒ තරම් බලවත් ස්ත්‍රීන් නැත්තා ද නොවේ.

ලස්සන ගුණවත් තරුණ ස්ත්‍රියක් හා විවාහ වීමෙන් පුරුෂයාගේ සියලු අරිෂ්ට යෝග භංග වී යහපත් සැපවත් කෙනෙක් වන බව මුලදී මෙම ශාස්ත්‍රයේ ද උගන්වයි. අන්‍ය සියලු යෝග මෙන්ම මෙය ද සත්‍යයකි. කෙසේ වුවත් ස්ත්‍රියකගේ බලය පුරුෂයෙකු හා සම්බන්ධ වූ කල්හිම දීප්තිමත් වේ. එනිසාම විවාහයෙන් පසුව ස්ත්‍රියකගේ නියම තත්ත්වය ඇති වන බව ද කියා තිබේ. මේ සඳහන් කළේ ස්ත්‍රියක් හා සම්බන්ධ ජනවහරේ යෙදුම් කිහිපයක් පමණි. නමුත් ස්ත්‍රියක් උපන් ගෙයින් රජ මැදුරකට යන්නත්, දුගී පැලක හිමිකාරිනියක් වන්නත් උරුම හිමිකම ඇගේ කේන්ද්‍රයේ නිවැරදිව සටහන්ව පවතින්නේය.

ස්ත්‍රී කේන්ද්‍රයේ බලවත් වන්නේ චන්ද්‍රයායි. ඊළඟට කුජය, චන්ද්‍රයා හයේ, හතේ, අටේ එකට හෝ වෙන වෙනම හෝ බුධ – ගුරු – සිකුරු සිටීමෙන් අධියෝගය යෙදෙයි. දෙදෙනෙකු නම් මධ්‍ය වශයෙන් ද එකෙකු නම් අඩු වශයෙන් ද යෝගය යෙදෙයි. මොවුන්ගෙන් එක්කෙනෙකුට හෝ දෙදෙනෙකුට හෝ තිදෙනෙකුට හෝ හත පෙනේ නම් ඒ ඒ අනුව බලවත් වේ. මේ යෝගය සම්පූර්ණයෙන් යෙදුන ස්ත්‍රිය සියලු දෙයින් සම්පූර්ණ රජෙකු හා සමාන කෙනෙකු හා විවාහ වනු ඇත. එසේම යම් ස්ත්‍රියකගේ හත්වැන්න එක් ශුභයෙකුගෙන් යුක්තව හෝ දෙදෙනෙකුගේ දෘෂ්ටි ලැබ තිබේ නම්, ආචාර සම්පන්න වේ. එසේම ශනි හතේ උච්චව සිටියදී උපන් තැනැත්තියගේ ස්වාමිපුරුෂයා ධනවත්, බලවත් උතුම් මහතෙක් වෙයි. එසේම රාහු හතේ උච්චව සිටියදී උපන් තැනැත්තී බලවත් ස්වාමිපුරුෂයෙකුගේ හිමිකාරියක් වෙයි. ගුරු, සිකුරු දෙදෙනාගෙන් කෙනෙක් ලග්නය දැක සිටියදී බුධහු උච්චව හතේත්, අඟහරු මකරයේත්, සඳු කටකයේත් සිටියොත් එකල උපන් තැනැත්තිය රූප සෞන්දර්යයෙන් යුක්ත වූ ගුණවත් බලවත් රජ බිසවක් හා සමාන සැප විඳින්නියක් ද වෙයි.

එසේම පස්වැන්න ශුභයන්ට පෙනෙද්දී පස්වැන්න අධිපතියා හතර කේන්ද්‍රයේ හෝ නවයේ මිත්‍ර රාශි ගත ව සිටී නම් එකල උපන් තැනැත්තිය බොහෝ පිරිමි දරුවන් ලබන්නියක් වෙයි. එම දරුවන්ගේ සැලකීම් තුළින් රැජිනක් හා සමාන සැප ලබන්නට තරම් වාසනාවන්ත වේ. තවත් පැත්තකින් කිවහොත් ධනු – මීන දෙකින් එකක් ලග්නව චන්ද්‍රයාත් ධනු – මීන දෙකින් එකක සිටියදී ලග්නයේ උදාවන ත්‍රිංශාංශකය ගුරුගේ නම් ගුණ නුවණින් යුක්ත වූ ඉතා යහපත් තැනැත්තියක් වන්නේය. කුජගේ නම් ක්‍රියා ශූර ඉක්මන් ගති ගුණ ඇති ගුණ නුවණින් යුතු විසිතුරු තැනැත්තියක් වන්නේය. බුධගේ නම් සියුම් නුවණ ඇත්තා වූ ක්‍රියා ශූරත්වය ඇත්තියක් ද වෙයි. සිකුරුගේ නම් වීර්යය අධික වූ ද, කෝමල ගති ඇත්තා වූ ද යහපත් වූත්, නුවණ හා ගුණය ඇත්තා වූ ද උතුම් භාර්යාවක් වන්නේය. මෙසේ පිහිටියා වූ ස්ත්‍රීන් ජීවිත උසස් කොට ගනිමින් ඉහළ ස්ථාන කරා පියමන් කිරීම අනිවාර්යය වන්නේය.

තවත් අතකින් ස්ත්‍රී කේන්ද්‍රය ප්‍රබල වීමට බලපාන ග්‍රහ පිහිටීමක් වන්නේ, මිථුන, කන්‍යා, දෙකින් එකක් ලග්නව චන්ද්‍රයාත් ඉන් එකක සිටියදී ලග්නයේ උදාවන ත්‍රිංශාංශකය බුධහුගේම වුවොත් නුවණ ඇති ගැඹුරු දේ දන්නා වූ උසස් ගුණවත් භාර්යාවක් වීමේ හිමිකම් පවතී. කුජගේ ත්‍රිංශාංශකය වුවහොත් තියුණු නුවණ යොදා අවශ්‍ය කටයුතු සිදු කිරීමේ බලයක් හිමි වන්නේය. එසේම ශනිගේ ත්‍රිංශාංශකය වුවහොත් ස්ත්‍රී පුරුෂ ගති දෙකෙතන්ම යුක්ත තැනැත්තියක් වේ. ගුරුගේ ත්‍රිංශාංශකය වුවහොත් සියලු කාර්යයන් දන්නා වූ යහපත් ගුණ නුවණ ඇති අන් සියලු දෙනාට සහ තම නෑදෑ වරිගයාට පවා උදව් උපකාර සිදු කරන මහා බලවත් සිතක් ඇති තැනැත්තියක් වන්නේය. සිකුරුගේ ත්‍රිංශාංශකය වුවහොත් තම ස්වාමිපුරුෂයා සමඟ ඉතා රසබර දිවි පෙවෙතක් ගත කරන, ස්වාමියා සෑම අතින්ම සතුටින් තබන භාර්යාවක්ද වන්නේය. මේ අයුරින් ස්ත්‍රිය බලවත් කරනු ලබන ග්‍රහ යෝග මෙන්ම ග්‍රහ සංයෝග ද පවතිනවා සේම ස්ත්‍රිය කගේ දිවිය දුර්වල කොට අගතිගාමී ජීවිතයක් හිමි කර දෙන ග්‍රහ තත්වයන් පිළිබඳවත් අප මෙහිදී සාකච්ඡාවට බඳුන් කළ යුතුය.

කුජ හතේ නීචව සිටිත්දීවත් කුජ – ශනි දෙදෙන සිංහ රාශියේදී හතේ සිටියදී උපන් ස්ත්‍රියක් විවාහ වූ ස්වාමි පුරුෂයා වැඩිකලක් ජීවත් නොවෙයි. රවි – ශනි, රාහු, කුජ යන පාපයින් සතර දෙන එකට ලග්නයෙන් හතේවත්, අටේවත් හෝ චන්ද්‍රයාගෙන් හතේ හෝ සිටීම ස්වාමිපුරුෂයා වැඩිකල් ජීවත් නොවන බවට සාක්ෂ්‍යයකි. එසේම යම් ස්ත්‍රියකගේ ලග්නයත් චන්ද්‍රයාත් විෂම රාශි දෙකක් වුවොත් හෝ ලග්න – චන්ද්‍ර දෙකම පාපයින් සමඟ හෝ පාප දෘෂ්ටි පමණක් ලැබ සිටිත් නම් ස්ත්‍රී රූප ස්වභාවයෙන් අඩු හෙවත් ස්ත්‍රියකට නුසුදුසු රූප ස්වභාවය ඇති ගුණ හීන වූ තැනැත්තියක් වනු ඇත. එසේම හත්වැන්නේ පාපයින් පමණක් විසින් දක්නා ලද හිරු පමණක් සිටියොත් කෝප සිත් ඇතිව ස්වාමියා සමඟ දබර කරන්නියක වෙයි. පාපයින් විසින් පමණක් දක්නා ලද කුජ පමණක් සිටියොත් ස්වාමියාගෙන් වෙන් වන්නියක් ද වනවා සේම ස්වාමි – භාර්යා සම්බන්ධතා ද පවත්වාගෙන යාමට ඇති හැකියාවක් නොවන ස්ත්‍රියක් ද වන්නේය.

මේ අයුරින් ස්ත්‍රී කේන්ද්‍රය අබල දුබල සිදු කරන ග්‍රහ පිහිටීම් අතර තවත් සුවිශේෂී තත්වයක් වන්නේ විෂ කන්‍යා යෝගයෙන් උත්පත්තිය ලැබීමයි. එනම් දෙවැනි තිථියත් අස්ලිස නැකතක් යෙදී ඉරිදා උපන් ස්ත්‍රීන් විෂ යෝගයෙන් උපන් වෙති. හත්වෙනි තිථියත් කැති නැකතත් යෙදී ඇති සෙනසුරාදා උපන් ස්ත්‍රියත්, දොළොස් වෙනි තිථියත් සියාවස නැකැතත් යෙදී ඇති අඟහරුවාදා උපන් ස්ත්‍රියත්, පාපයෙකුගේ ලග්නය වී ලග්නයේ පාපයින් සිටියදී හයවැන්නේ පාපයින් දෙදෙනෙක්ම සිටියොත් ඇය ද විෂ යෝගයෙන් උපන් තැනැත්තියක් වෙති. එසේම ශනි ලග්නයේත්, හිරු පහේත්, කුජ නවයේත් සිටිත්දී උපන් තැනැත්තී විෂ යෝගයෙන් උපන්නේය.

මෙසේ විෂ යෝගයෙන් උපන් තැනැත්තී සදාකල්හි ශෝකයෙන් තැවෙන්නාවූ ද පින් නැත්තා වූ ද, ආහාර වස්ත්‍ර ආභරණ ආදියේ අඩුලුහුඬුකම් නිසා නිතර දුක් වන්නා වූ ද, දරුවන් නැත්තා වු හෝ බාල වයසේදීම දරුවන් මැරෙන්නා වූ ද ස්ත්‍රියක් වෙයි. එසේම උපන් දා සිට පියාගේ වස්තුව හා තත්වය හීන වීමට ද හේතු වේ. එවැනි ස්ත්‍රිය වාසය කරන නිවස මූ දේවිය වාසය කරන බවත් ශී‍්‍ර දේවිය පිටවී යන බවත් ඡ්‍යොතිෂයේ මතයයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.