කාල හෝරාව

ඔක්තෝබර් 23, 2020

ඉර උදාවේ සිට කාලහෝරව පටන් ගනී. ඉර උදා වූයේ 6.00 ට නම් ඉරිදා දිනවල උදේ 06.00 සිට 7.00 දක්වා රවි හෝරාව පවතී. ඊළඟට සිකුරු හෝරාව වේ. සිකුරු හෝරාව ළඟට බුධ හෝරාවය. ඉරිදාට කලින් දිනය සෙනසුරදාය. සෙනසුරාදාට කලින් දිනය සිකුරාදාය.

මේ ක්‍රමයෙන් කාල හෝරාව ලබා ගෙවී යයි. මේ අනුව උදේ 6.00 සිට දවල් 12.00 දක්වා ඉරිදා දිනවල රවි ,ශුක්‍ර, බුධ, චන්ද්‍ර, ශනි,ගුරු, කුජ වශයෙන් හෝරා පවතී. කුජ හෝරාව අවසන්වන විට දවල් එක පැය ඉවර වේ. නැවත හෝරාව රවිගෙන් පටන් ගනී. නැවත රාත්‍රී 08.00 ට කුජ ගෙන් අවසන් වේ. නැවත රවිගෙන් පටන් ගනී. රාත්‍රී 3.00 කුජ ගෙන් අවසන් වේ. අලුයම 3.00 සිට 4.00 දක්වා රවි හෝරාව වේ. 4.00 සිට 5.00 දක්වා සිකුරු හෝරාව වේ. 5.00 සිට 6.00 දක්වා බුධ හෝරාව වේ. දවස ද අවසාන විය. සඳුදා දවස ලබයි. පෙර කී ලෙස චන්ද්‍ර හෝරාව ලබයි. සඳුදා පටන් ගන්නේ සධු හෝරාවෙනි. අඟහරුවාදා පටන් ගන්නේ කුජ හෝරාවෙනි. මේ අනුව ඒ ඒ දවස්වලට අධිපති ග්‍රහයා මුල් කරගෙන එම හෝරාව පටන් ගනී. එය කාල හෝරාව නමින් හඳුන්වයි.

මෙම කාල හෝරාව පහට බෙදා කොටසට පංචම කාල හෝරාව යයි කියති. එය සිංහල පැය භාගයකි. ඔර්ලෝසු පැයින් විනාඩි 12 කි. එහි මුල පහෙන් පංගුව හෝරාව හිමියාට හිමි වෙයි. ඉරිදා නම් මුල් විනාඩි 12 රවිට හිමි වේ. දෙවනි පංචම කාල හෝරාව දින කාල හෝරාව මෙන් සිකුරුට හිමි නොවේ. එය සඳුට හිමි වේ. පංචම කාල හෝරාව හිමිවන්නේ දින හිමිවන ක්‍රමයෙහි එනම් රවි, චන්ද්‍ර, කුජ, බුධ, ගුරු, ශුක්‍ර, ශනි යන ක්‍රමයෙනි. මෙය ඉතා පැහැදිලි නිසා වැඩි විස්තර අවශ්‍ය නොවේ.

දින කාල හෝරාවෙන් ගත යුතු වැඩ

රවි හෝරාව – රවි උච්ච රාශියේ හෝ ස්වක්ෂේත්‍ර රශියේ ගමන් කරන විට රවි හෝරාව ඉතා බලවත් වේ. එමෙන් කැති, උත්‍රපල්, උත්‍රසල යන නැකත් පවතින දිනවල ද රවි හෝරාව බලවත් වේ. ශක්තියට මෙන්ම රෝග සුවවීමට, විෂබීජ විනාශවීමට, රෝග සුවවීමට හිරු රැස් බලපායි. එම නිසා බෙහෙත් පාවිච්චියට සහ ශල්‍යකර්ම කිරීමට ද රවි හෝරාව ඉතා යෝග්‍ය වේ.

පියාගෙන්, රජයේ නිලධාරීන්ගෙන්, ශල්‍ය වෙද්‍යෙවරුන්ගෙන්, මැති ඇමැතිවරුන්ගෙන් උපකාර ගැනීමට, ඒ අය මුණගැසීමට රවි හෝරාව යෝග්‍ය වේ.

ඉඩම් බද්දට දීමට, කොන්ත්‍රාත් අත්සන් කිරීමට, දේශපාලන කටයුතු ආරම්භ කිරීමට , රැකියා උසස්වීම් ඉල්ලා සිටීමට, පොලීසියේ පැමිණිලි දැමීමට, ලිපි ලේඛන ලියාපදිංචි කිරීමට, මන්ත්‍ර ශාස්ත්‍රය හැදෑරිමට, මන්ත්‍ර ජප කිරීමට, රටකජු , ගම්මිරිස්, මිරිස්, පොල් , සැවැන්දරා, කරදමුංගු, වී, කොට්ටන් රෝපණය කිරීමට ද රවි හෝරාව යෝග්‍ය වේ.

දෙවියන්ට කන්නනලව් කිරීම, රන් රිදී ආභරණ මිලට ගැනීම, ඒවා සාදාව ගැනීම, අත් එන්නත් කිරීම, බෙහෙත් විද ගැනීම ආදියට ද රවි හෝරාව සුබ දායක වේ.

සිංහ ලග්න හිමියන් සහ රවි දශා ලබා තිබෙන අය අපල සමනය කිරීමට පුණ්‍ය කටයුතු කළ යුත්තේ ද රවි හෝරා වෙති.

සඳු හෝරාව – චන්ද්‍රයා වෘෂභ, කටක රාශිවල ගමන් කරන කාලයේ සඳු හෝරාව ඉතා බලවත්ය. රෙහෙණ, හත, සුවන නැකැත්වල සඳු ගමන් කරන විට ද සඳු හෝරාව බලවත්ය.

තද අදහස් ඇති අය හමුවීමට, වරින්වර අදහස් වෙනස් කරන නපුරු දරදඬු අදහස් ඇති කාන්තාවන් මුණගැසී උපකාර ලබා ගැනීමට සඳු හෝරාව සුදුසු වේ.

වී ගොවිතැනට, ළිං කැපීමට, උක් රෝපණයට සඳු හෝරාව සුබය. කිරි වෙළඳාම , කිරිවලින් සාදන ද්‍රව්‍ය අලෙවි කිරීම, ආරම්භ කිරීමට නිෂ්පාදන කටයුතු වලට සඳු හෝරාව සුබයි. සෙනසුරදා සඳු හෝරාව අයිස්ක්‍රීම් අලෙවියට ද සුබය.

පලා වර්ග, ආහාර ද්‍රව්‍ය , මුද්දරප්පලම්, තෙල් භූමිතෙල් , පැට්‍රල්, ඇසිඩ් වර්ග ආදිය වෙළඳාම් ආරම්භ කිරීමට සඳු හෝරාව සුබයි. මුතු, ස්වර්ණභරණ සහ මාළු මිලදී ගැනීමට ද සඳු හෝරාව යෝග්‍ය වේ.

විදේශ සංචාරවලටද සඳු හෝරාව බලවත් වේ. ගමන් බිමන් සාර්ථක වේ.

කවි, ගීත ප්‍රබන්ධ කිරීමට, බෙර, තබ්ලා වැයීම පුහුණූ වීමට ද, සඳු හෝරාව සුබයි. දියෙහි කිමිදීමට ද සුබයි. වින්නඹු හා හොඳ රැකියාවන් ආරම්භ කිරීමට ද සුබයි. දේශන පැවැත්වීමට ද සුබයි. මවගෙන් සහ මව්පස ඥාතීන්ගෙන් උපකාර ගැනීමට, අලුත් වස්ත්‍ර ඇඳීමට, රෙදිපිළි වෙළඳ සැල්, බීම සාප්පු ඇරැඹීමට සහ ඒවායේ රැකියාවලට යාමට ද සඳු හෝරාව සුබයි.

කුජ හෝරාව – කුජ, මේෂ, වෘශ්චික, මකර රාශිවල ගමන් කරන විට හා සිත, දෙනට, මුවසිරස, නැකත පවතින විට ද කුජ හෝරාව බලවත් වේ. වර්ජන සටන් ඇරඹීමට, නඩු පැවරීමට, නඩුවලදී තර්ක ඉදිරිපත් කිරීමට කුජ හෝරාව සුබයි.

ඉඩම් මිල දී ගැනීමට, පෝරණු බැඳීමට, බිම් ගෙවල් හෑරීමට, ගල් ඉවත් කිරීමට, වගා වලට, පෝර දැමීමට කුජ හෝරාව සුබයි.

යුද හමුදාවට , පොලීසියට බැඳීමට, කර්මාන්ත ශාලාවල සේවයට යාමට කුජ හෝරාව සුබයි. බදාදා දින, මුද්‍රණ ශිල්පය, ඉංජිනේරු වැඩ ඇරඹීමට ද කුජ හෝරාව සුබයි. බ්‍රහස්පතින්දා, කුජ හෝරාව උසාවිවල දිවුරුම් දීමට, ස්වර්ණභරණ වෙළඳ සැල් ආරම්භ කිරීමට ද සුබයි. තේ, කෝපි සම්බන්ධ කටයුතුවලට, චිත්‍රපට ශාලා වැඩට, ක්‍රීඩා වැඩට,මෝටර් රථ ප්‍රවාහනයට ,කෘෂිකර්ම වැඩට,ගෘහ භාණ්ඩ වැඩට, විදුලි පණිවුඩ සම්බන්ධ පුහුණුවීමට ද කුජ හෝරාව සුබයි.

බුධ හෝරාව – බුධ ග්‍රහයා, මිථුන, කන්‍යා, රාශිවල ගමන් කරන විට හා දෙට, අස්ලිස, රේවතී නැකත් පවතින විට ද බුධ හෝරාව බලවත් වේ.

පාසල් වලට ළමයින් ඇතුළත් කිරීමට, ගාථා ශ්ලෝක කවි, ස්තෝත්‍ර ආදිය කටපාඩම් කිරීමට බදාදා, බුධ, හෝරාව සුබයි. ගුරු වෘත්තිය ඇරඹීමට ද සුබයි. ගණිත කටයුතුවලට සුබයි.

චිත්‍ර ශිල්පීන්, කලාකරුවන් , නාට්‍ය, ශිල්පීන් , සිකුරාදා බුධ හෝරාවෙන් වැඩ ආරම්භ කිරීම සුබයි. පොත් කර්තෘවරු, ප්‍රකාශකයෝ, පොත් වෙළෙන්දෝ, මුද්‍රණ ශිල්පීන් , මුද්‍රණාල හිමියාත්, ප්‍රචාරක වැඩ ඇරඹිය යුත්තේ බුධ හෝරාවෙනි. බ්‍රෝකර් වැඩට ,වෙන්දේසි වැඩට, ලියකියවිලි,කෙටුම් පත් කිරීමටද, යතුරුලියන වැඩටද බුධ හෝරාව යහපති.

ස්නායු දුර්වල අයට ප්‍රතිකාර කිරීමට ද බුධ හෝරාව සුබයි.

තම කේන්ද්‍රයේ එකොළොස්වැන්න හිමි ග්‍රහයාට අයත් දිනයේ බුධ හෝරාවත්, ලොතරැයි මිලට ගත් විට ග්‍රහයාත් දෙදෙනාම බලවත් නම් ධන යෝග නොමැතිනම් සැනසිලි තෑග්ගක් හෝ ලැබේ. වෙළෙඳ ආයතන ආරම්භ කළ යුත්තේ බුධ හෝරාවෙනි. කඩදාසි, ලිපි ද්‍රව්‍ය ඇටවලින් ලබාගන්න තෙල් වර්ග , හණ , ඉරිඟු, රිදී, ලූනු, මුං ඇට, ඔර්ලෝසු, සම්බන්ධ කටයුතුවලට බුධ හෝරාව සුබයි.

ඉගෙනීමට ,පුහුණුවට විදේශගතවීමට බදාදා හෝ බ්‍රහස්පතින්දා බුධ හෝරාව සුබයි. ව්‍යස්ථා කෙටුම්පත් කිරීමට ද සුබයි.

ගුරු හෝරාව – ගුරු, ධනු, මීන, කටක රාශිවල ගමන් කරන විට ගුරු හෝරාව ඉතා බලවත් වේ. පුනාවස, විසා, පුවපුටුප නැකත්වල සඳු ගමන් කරන විට ද ගුරු හෝරාව ප්‍රබල වේ. ඕනෑම කෙනෙක් හමුවීමට යාමට ද ගුරු හෝරාව යහපත් වේ. බැංකුවලින් ණය ගැනීමට නිලධාරීන් හමුවීමට ගුරු හෝරාව සුබයි.

වේදය, ඡ්‍යොතිෂය, දර්ශනය, ආගම , නීතිය, ආර්ථික විද්‍යාව, බැංකු කටයුතු පිළිබඳව අධ්‍යයනය කිරීමට ගුරු හෝරාව යහපත් වේ. රන් රිදී, වෙළෙඳ ආයතන ජුවලරි ආරම්භ කිරීමට ගුරු හෝරාව සුබයි. දියුණුව ඇති කරයි. පන්සල් දේවාල ඉදිකිරීමට, පුණ්‍යායතන පිහිටුවීමට පාසල්, පුස්තකාල, බැංකු ආදිය ආරම්භ කිරීමට, විවෘත කිරීමට ගුරු හෝරාව සුබයි. සිකුරාදා දින ගුරු හෝරාව රථවාහන මිල දී ගැනීමට සුබයි. ගෙවල්වලට මුල් ගල් තැබීමට, අත්තිවාරම් දැමීමට සුබයි.

ශීතකරණ මිල දී ගත යුත්තේ සෙනසුරාදා දිනක ගුරු හෝරාවෙනි. ඇමති ධුරවල වැඩ භාර ගැනීමට ඉරිදා, අඟහරුවාදා, ගුරු හෝරාව සුබයි. ණය ගැනීමට බ්‍රහස්පතින්දා ගුරු හෝරාව සුබයි. අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ රැකියා බාර ගැනීමට, ගුවන් ගමන් යාමට බදාදා ගුරු හෝරාව යහපත් වේ. මන්ත්‍ර ජප කිරීමට ද සුබයි. බැංකු ගිණුම් ආරම්භ කිරීමට, ගණන් පරීක්ෂා තනතුරු භාරගැනීම ට ගුරු හෝරාව අගනේය. සෙනසුරාදා ගුරු හෝරාව රක්ෂණ ඔප්පු ගැනීමට සුබයි. යහපත් දරු පල පිහිටීමට ද ගුරු හෝරාව සුබයි.

සිකුරු හෝරාව – සිකුරාදා දිනවල බෙරණ , පුවපල්, පුවසල, නැකත් පවතින විට චන්ද්‍රයා ,වෘෂභ, තුලා, මීන රාශිවල ගමන් කරන විට සිකුරු හෝරාව බලවත්ය.

සැඩ පරුෂ නිලධාරීන්ගෙන් උපකාර ගැනීමට සිකුරු හෝරාව ඉතා සුබයි.

දරුදඬු පුද්ගලයන්ගේ සිත් සිකුරු හෝරාවේදී මෘදු වේ. පෙම්බැඳුම් ආරම්භ කිරීම, මනාලිය බැලීමට යා යුත්තේ සිකුරු හෝරාවෙනි. මංගල ගමන් පිටත්වීමට, මධුසමය ගත කිරීමට සිකුරු හෝරාව සුබයි.

රන් ආභරණ, සාරි, වටිනා ඇඳුම්, දියමන්ති, අගනා මැණික්, සඳුන්, වීදුරු, පුයර , සුවඳ තෙල් සායම්, කාන්තා රුව වඩන දේවල් මිල දී ගත යුත්තේ සිකුරු හෝරාවෙනි.

සිකුරාදා සිකුරු හෝරාවෙන් රථවාහන මිල දී ගැනීම ඉතා සුබයි. අඟහරුවාදා , සිකුරු හෝරාව කෘෂිකර්ම කටයුතුවලට සුබයි.

ගව පාලනය , කුකුළු පාලනය, ආරම්භ කිරීමට, අශ්වයන් ඇති කිරීමට සිකුරු හෝරාව සුබයි. සඳුදා සිකුරු හෝරාව කිරිපට්ටි ආරම්භ කිරීමට සුබයි. අඟහරුවාදා සිකුරු හෝරාව සහල් වෙළඳාමට සුබයි.

බදාදා, සිකුරු හෝරාව කෙටි කතා , නවකතා ලිවීම ආරම්භයට සුබයි. විනෝද ගමන් යාමට මෙන්ම පෙම්හසුන් ලිවීමට ද සුබයි. රේගුවෙන් බඩු ඉවත් කර ගැනීමට රෙදිපිළි, සුවඳ වර්ග , සබන්, කපු, විචිත්‍ර භාණ්ඩ, කාන්තා ඇඳුම් , විස්කෝතු ,චොක්ලට්, රසකැවිලි, පලතුරු මල්, එළවළු ආදිය සම්බන්ධ සියලු කටයුතුවලට සුබයි. සංගීත විදුහල් , චිත්‍රපට ශාලා, ඡායාරූප ශාලා, දුම්රිය ස්ථාන , ගුවන් ගමන් , නාවික කටයුතු ආරම්භයට සිකුරු හෝරාව සුබයි

ශනි හෝරාව – සෙනසුරාදා දිනවල චන්ද්‍රයාගෙ මකර, කුම්භ රාශිවල ගමන් කරන විට පුෂ ,අනුර, උත්‍රපුටුප නැකත් පවතින දිනවල ශනි හෝරාව බලවත්ය.

දරදඬු අය මෙල්ලකර ගත යුත්තේ ශනි හෝරාවෙනි. යෝග ව්‍යායාම, ධ්‍යාන භාවනා ආරම්භ කිරීමට ශනි හෝරාව සුබයි. පැවිදි අයට, පතල් හිමියන්ට, ඉඩම් හිමියන්ට ලියුම් ලිවීමට ශනි හොරාව සුබයි.

අර්තාපල් අල වර්ග, ලූනු, ඉන්දවීමට ශනි හෝරාව සුබයි.

ඇයි හොඳයි නතර කර ගැනීම පෙම්වතියගෙන් ඈත්වීමට ශනි හෝරාව යහපති. පැට්‍රල් ගබඩා, තෙල් වෙළඳාම, හම් පදම් කිරීම වැනි වෙළඳාම් ආරම්භයට සුබයි. මහණ කිරීමට, දසසිල් ගැනීමට ද ශනි හෝරාව සුබයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.