කළු කුහුඹි නිමිත්ත

සැප්තැම්බර් 18, 2020

රතු කුහුඹි ගෙවල්වලට පැමිණීම සම්බන්ධව ලොකු විස්තරයක් 2019 මුල් කාලයේදී ලිව්වා මතකයි. බොහෝ පාඨකයෝ ඒවා කියවලා සමහරු මට ප්‍රශංසා කරනවා. තවත් අය ඒ සම්බන්ධව ප්‍රශ්න අහල කිසියම් ප්‍රයෝජනයක් ගන්නවා. ඡ්‍යොතිෂයේ හැංගුණ සමහර කරුණු හෙළිදරව් කරල ඔබේ යහපත සඳහා දන්වන එකයි අපගේ ප්‍රයත්නය. 

ඔබ නොදන්නා කමින් සමහර ලාභ ලබාගැනීමට නොහැකිවන අතර බොහෝ දුරට පාඩු ඇති කර ගන්නවා. අපි කවුරුත් දන්නවා ගෙයක් හදනකොට ඒ නිවසේ නැගෙනහිර දෙසින් හිරු කිරණ කීපයක් ගේ තුළට වැටෙන්න සැලැස්සුවාම බොහෝ දුරට එම නිවසේ රෝග බිය නැති කරල ජීවත්වන අය නිරෝගි සම්පන්න වනවා. අනික ආදායම වැඩි වනවා. ගෙදර සතුට රැඳෙනවා. මේ වගේ පුංචි කරුණුූ අපි දැන ගත්තාම ලොකු වාසි ලැබෙනවා. අපි කොච්චර මුදල් හම්බ කළත් ඊට වඩා වියදම් වනවා නම් ඒ හම්බ කිරීමෙන් වැඩක් තිබෙනවද? ඔබ හම්බ කරනවට වඩා අඩු මුදලක් තමයි වැය වන්න ඕන. ඒ කියන්නේ නොකා නොබී නොවේ. අනවශ්‍ය වියදම්. එහෙනම් අනවශ්‍ය වියදම් නොවන්න පුංචි නිමිත්තක් ලියනවා. අද ඉඳලම කරන්නකෝ.ඔබ හම්බකරන මුදල කීය වුණත් නිවසේ අල්මාරියේ හෝ කබඩ් එකේ බස්නාහිර පැත්තට වෙන්න තබන්න. එතකොට ඒකේ දොරවල් ඇරෙන්නෙ නැගෙනහිරටයි. මේ වගේ පුංචි පුංචි දේවල් දැනගෙන හිටියම ඔබ නොදැනුවත්වම කීප දිනකින් ලොකු පොහොසතෙක් වේවි. 

තව එකක් තමයි වඩා වේගයෙන් භ්‍රමණය වන විශ්වය කිසියම් ශක්තියක් ඇති කරනවා. පෘතුවිය ඇති කරන ශක්තිය තමයි පෘථිවි ආකර්ෂණය. ගුරුත්ව ආකර්ෂණය කියලත් කියනවා. පෘථිවියේ සිට එක්තරා දුරකට මේ බලශක්තිය පවතිනවා. අන්න ඒකයි ඔබ උඩ පැන්නොත් බිමට වැටෙන්නේ. ගස්වල ගෙඩි බිමට වැටෙන්නේ ඒකයි. මේ විශ්වය කැරකෙනවා. අපිට යමක් දැනගන්න ඕන නම් ඒ ක්‍රියාවම අපිත් ප්‍රායෝගිකව කළාම ඒක අපිට වැටහී යනවා. මේ විශ්වය කැරකෙන බව අපට දැනගන්න ඕනි නම් අපිත් කැරකිලා නවතින්න. එතකොට අපට වැටහේවි. විශ්වය ගැන ගහ කොළ ගැන විශ්වයේ ජීවත්වන ගස්වැල් සතුන් ගේ ක්‍රියාවලිය ගැන නිවැරදි ස්ථාවරයකින් ඉන්නට ඕනෑ. පැරණි අයට නම් මේ දැනීම තිබුණා. වර්තමාන බොහෝ අයට නැහැ. ඒක වගකීමෙන් කියනවා. ඔබ දන්නවා පැරණි අය ගෙදර වහළයට පොල් අතු හෝ තල් අතු තමයි පාවිච්චි කළේ. බිමට ගොම මැටි තමයි ගෑවේ. හැකි තරම් මැටි වලින් ගඩොල් වලින් බිත්ති බැන්දේ ළිඳ කැපුවේ වේ පස් තිබුණූ ස්ථානයේ. ඒ හැම එකකටම නිවැරදි අර්ථයක් තිබුණා. දැන් ඒවා සමහර ගැමි අයට නම් සීමා වෙලා. දැන් නම් එවා වෙනුවට නපුරු විදියට ලෙහෙසි විදියට මාරු වුණා. මැටි බඳුන් වෙනුවට ප්ලාස්ටික් ඇලුමිනියම්, දර වෙනුවට ගෑස් ගත්තා. 

එච්චර විතරක් නොවේ. ගෙදරක එළදෙනක්, එළවළු පාත්තියක් තිබුණා ඒ දිනවල. ළිඳේ වතුර ටික පිරිසුදුවෙන් බිව්වා. වරිපනම් ගෙව්වේ නැහැ. මතකද ළිඳ ඉසලා අලුත් වතුර එනකොට රත්මල්, අඟුරු ළිඳ තුළට දැම්මා. ඒ වතුර පිරිසුදු වන්න. ගැමියා ඒවා හොඳට දැනගෙන හිටියා. කෝ අද ඒවා. මිනිසුන් ගස් ගල්  වගේ වැඩකළා කඩිසරව. දැන් තිබෙන ඉංගී‍්‍රසි නම් දාපු ලෙඩ රෝග තිබුණෙ නැහැ. කොච්චර සතුටින් ගහේ කොළේ ගඩා ගෙඩිය බෙදා හදාගෙන කෑවා. කෝ ඒ පරාර්ථකාමී සතුට. රෙදි ටික හෝදල දාලා ඊයේ රෑ ඉතිරි වූ බත් ටික හෝදල අව්වට වේලෙන්න දමල, රත්තිව ගහේ බැඳල කුස්සියට ගිය අම්මා රත්තිගේ අමුතු හැඩීම ඇහිලා දුවට කිව්වා වැස්සක් ළඟයි වැලේ රෙදි ටික අරගෙන, වේලෙන්න දාපු දර ටික ගෙට ගන්න කියලා. අම්මා අර රත්තිගේ හැඬීම තේරුම් අරගෙන හිටියේ. පන්තිවලට ගිහිල්ලවත් අභ්‍යාස කරල වත් නොවේ. හැමදාම ගෙදරට පියාඹා ආ කුරුළු රෑන ටික දිනකින් ඇවිල්ල නැහැ. ලෙඩ ඇඳේ සිටින සීයා ගැන අම්මට නපුරක් දැනුණා. සීයාට කළ ශෛල්‍යකර්මය ගැන තමයි ඒ කුරුල්ලෝ සලකුණු කළේ. මේවා පෙර නිමිති. අම්මා දැනගෙන හිටියා. ගෙදරට පොල්කිච්චා ඒම ගැනත් පසුව ලියන්නම්. අපිත් මේ පෙරනිමිති දැනගෙන ඉන්න ඕනෑ. ඡ්‍යොතිෂයේ තිබෙන නිමිති ශාස්ත්‍රය ගොඩක් දේ දන්වනවා. ඡ්‍යොතිෂයේ ඔබ හොඳින් දන්නෙ රාහු කාලය ගැන විතරයි. එහෙනම් තව එකක් කියන්නම්. රාහු කාලය ඉවර වුණාම හරි දවසේ මරු ඉන්න දිශාව බලා ගමන් යන්ට එපා. ඉරිදට මරු ඉන්නෙ උතුරේ, සඳුදට වයඹේ, අඟහරුවාදාට බටහිරේ. දැන් ඉතිරි දවස්වලට බලාගන්න පුළුවන්නේ. එතකොට ඊසානට මරු එන්නෙ කවදද? ඊසානට මරු නැහැ. අයිති බ්‍රහස්පතිට. මරු නැති පැත්ත කිව්වේ ඊසානට. 

ඔබේ ගෙදරට පක්ෂින් එන එක හොඳයි. උන් අරගෙන එන්නේ වාසනාව. රතු කුහුඹියා මූසලයි. කලුකුහුඹියා වාසනාවයි. තලගොයා හොඳයි. කබරයා මූසලයි. මේ රතු කුහුඹියා ගැනත් කලු කුහුඹියා ගැනත් යමක් කියන්නම ඕනෑ. රතු කුහුඹියා පොල්කුඩු ,පොල්තෙල් , තෙත සීනි වලට එනවා. කොහොමත් කුහුඹි මේ දේවල් වලට වහනවා ස්වභාවික වශයෙන් . ස්වභාවිකව නැතිව රතු කුහුඹියා ආවොත් ගෙදර අවුලක මුල. කිසිම අර්ථයක් නැතිව පාඩුවක්, අසනීපයක් ,රණ්ඩුවක් ඇතිවේවි. මේ දිනවලට අඩුම තරමින් ඇස්වහ කටවහා ටිකක් වත් කප්පවා ගන්න. ඌ අවතාරයක ස්වභාවය ගන්නවා. 

රතු කුහුඹියා පිල්ලි වලට බරයි. කළු කුහුඹියා ඔය සීනි වලට කෙක් කෑල්ලක රස බලන්න ටිකක් කෑදර තමා. ඒත් කරදරයක් නැහැ. උන්ව පිසදාලා ඒක ආහාරයට ගත්තත් කාරි නැහැ. කළු කුහුඹියා පේළියට ගෙදර ආවොත් ගේ මැද්දෙන් ගමනක් ගියොත් එක පාරට කොස්සෙන් අතුගා දමන්න එපා. කෘමිනාශක ගහල මරල දමන්න එපා. උන් ගෙනාවේ සුබ පණිවුඩයක්. අදම ලොතරැයියක් ගන්න. ඒ කළු කුහුඹියා නැවතුන තැන කිසියම් ආදායමක්. ඔබගේ නැතිවු දෙයක්. වස්තුවක් ඇති. ඒක ඔබට  හිමියි. කළු කුහුඹියා එවැනි වාසනාව ගෙනෙනවා. ඊට පසු ඌ නිකන්ම යන්න යාවි. මේ වගේ නිමිති ටික ටිකවත් දැනගන්න. ඔබේ නිවසේ උදේට නැගෙනහිරින් එන හිරු කිරණක් ලබා ගන්න. මකුණුදැල් කඩන්න. මකුණු දැල් අයිති කෙහෙතාට. කෙහෙතාගේ බලපෑම් දන්නවනේ. ඒ ගැන පසුව ලියමුකෝ. 

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>> 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.