ගත සිත එකට බැඳුණ විට විවාහය සාර්ථක වේවි

අප්‍රේල් 26, 2019

මිනිස් ජීවිතය වඩාත් අර්ථවත් හා සුන්දරවනුයේ ආදරය දයාව හා සෙනෙහසැති ලෙන්ගතුකම නිසා යැයි කිවහොත් ඔබ මා සමඟ එකඟ වනු ඇත. ආදරය හා සෙනෙහස තරම් මිනිස් හදවත ප්‍රබෝධයට පත්කරන ජීවිත්වීම සඳහා උත්තේජනයක් ජනිත කරවන තවත් බලවේගයක් නැති තරම් ය. ආදරය වැළඳ ගැනීමේ කලාවකි. ආදරය හා ප්‍රේමය ඔබ අපගේ ජීවිතවලට හැකිතාක් දුරට බද්ධ කර ගැනීම සාර්ථක හා තෘප්තිමත් විවාහ ජීවිතයක් ගත කිරීමට අත්‍යවශ්‍ය සාධකයක් ලෙසට සැලකිය හැකි ය.

අපි කොයි කාගේත් ජීවිතය කාලය පුරාම බැඳී පවතින තනි සාධකයක් වේ නම් ඒ ආදරය බැව් කිව හැකි ය. සසර පුරාම එක ලෙස ගමන් කරන මෙම මානව ධර්මතාවය ගැන බුදුන් වහන්සේද අනුදැන වදාළ සේක. පුද්ගලික ජීවිතය සාර්ථකත්වය සඳහා අන්‍යෝන්‍ය සහයෝගය හා මිත්‍රශීලීත්වය අත්‍යවශ්‍ය සාධකයක් ලෙසට සිතන්නට මෙම සංකල්පය හුදෙක්ම බිරිඳකට හා සැමියෙකුට අතිශයින්ම වැදගත්ය. මිනිසා යනු සමාජගත සත්වයෙකු යැයි වරෙක ඇරිස්ටෝටල් ශූරීන් පවසා තිබේ.

තරුණයෙකු හෝ තරුණියක අවුරුදු 25 පමණ වන විට තමා කවරෙක්ද තමාගේ හැකියාවන් කුමක්ද ශක්තීන් මොනවාද යන්න තමා ගැනම සුවිශේෂී ආත්මීය හැඟීමක් උත්පාදනය කර ගත හැකි ස්ථාවර මට්ටමක සිටින අවධියක් සේ සැලකේ.

මේ වයස යුගදිවියට ඇතුල්වීමට කැස කවන කාලපරාසයකි. ජීවිතයේ වසන්ත සමයයි. එකිනෙකා පෙම්බස් දොඩමින් ආදරය යන අකුරු හතර හදවතේ අමුණාගෙන සොම්නසින් උද්දාමයට පත්ව දෙදෙනාගේ ලෝකයක් නිර්මාණය කර ඒ තුළ ජීවත් වන තැනට පත්වීම සොබාවිකය. දෙදෙනා අතර සුහදව දුකසැප බෙදාගෙන ආදරණීය තම ප්‍රේම හැඟීම් හුවමාරුකරමින් ගත කරන කාලය මී පැණිවලටත් වඩා රසවත් වනු ඇත. මෙයින් කිසිම අයුරකින් ලිංගික සබඳතාවයක් පවත්වාගෙන යාමට අවශ්‍ය බැව් අවධාරණය නොකරන බවත් සිත්හි තබා ගත යුතු වේ.

විවාහයට හොඳ සහකරුවෙකු හෝ සහකාරියෙකු සොයා ගැනීම එතරම් ලෙහෙසි පහසු වැඩක් නම් නොවේ. මෙය ඉතාම බුද්ධිමත්ව කළයුතු වැඩකි. නිසි පරිදි ඉටුනොවුවහොත් මුළු ජීවිතකාලයම අවුල් සහගත වේ. තවත් වැදගත්ම කරුණ වන්නේ සියයට සියයක්ම අංග සම්පූර්ණ ගැළපීම් ඇති දෙදෙනෙකු සොයා ගැනීමට එතරම් පහසු නැත. යථාර්ථය තේරුම් ගැනීම වැදගත්. එක හා සමාන දෙදෙනෙකු මෙලොව නැත. වසර ගණනාවක්ම එකට ඇසුරු කරන අයත් අහම්බෙන් ඇසුරට වැටෙන අයත් කිසිදිනක නොදුටු දෙදෙනෙකු එකම මොහොතක දැක ආදරය කිරීමට ගොනුවීමත් වැනි සංසාරික බන්ධන ලෙසටද ඇතිවේ යැයි නිගමනය කළ හැකි ය. මේ අතර කපටි ලෙස වංචාසහගතව ආත්මාර්ථකාමීව එක් අයෙකු තමා වෙත නම්මාගෙන ඇසුරු කිරීමටද දක්ෂවෙනු ඇත. හුදෙක්ම මිල මුදල් මතම ආදරය හා ප්‍රේමයට බැඳෙන අයද අප අතර සිටින බැව් නොරහසකි.

ආදරය හා මිත්‍රශීලීත්වය හා සබඳකමක් විවාහයක් යනු එකක් නොව දෙකකි. යෝජනාවකින් වන විවාහකින් ආදරණීය සබඳතාවයන් ගොඩ නැගෙනවා අඩුය. එහෙත් සමහර විට දෙදෙනාම මිත්‍රශීලී ආදරණීය බැඳීම හරහා සාර්ථක යුග දිවියක් ගත කරන අඹු සැමියෝ අප අතර කොතෙකුත් සිටියි. ආදරණීය ප්‍රේමයෙන් වෙළී සිට යුගදිවියට ඇතුල්වන දෙදෙනාම සාර්ථක යුගදිවිය ගත කිරීමේ වාසනාව පාදා ගන්නා අතර සමහර විට දෙදෙනාම විවාහ වී කෙටිකලකින්ම වෙන්වන තැනට පත්වන්නේ කොකාගේ සුද පෙනෙන්නේ ඉගිලෙන විටදී නිසාමය.

බාහිර පෙනුමට වසඟ වී විවාහයට එක් වී කෙටි කලකින් දික්කසාදයට යන අයද සිටිති. ඇතුළත හදවතේ ගැඹුරු තැනින්ම ආදරයට සබඳතාවයක් ගොඩනැඟී ඇත්නම් කිසි දිනක දෙදෙනාම වෙන් නොවනු ඇත. ඡ්‍යොතිෂ විද්‍යාවෙන් පැහැදිලි වන අන්දමට ග්‍රහ හැසිරීම් රටාවට අනුව කේන්ද්‍රයේ 1, 4, 5, 7, 9 සහ 11 වැන්නද විවාහය පිළිබඳ නියෝජනය කරන තැන් ය.

මුද්දරයක් මත දෙදෙනාගේ අත්සන් තැබූ පමණින්ම එය අතිසාර්ථක විවාහයක්දැයි එකවරම තීරණය කිරීමට අපහසු වේ. එකෙකු සමග නීතියෙන් විවාහය වී රහසේ වෙනත් අයෙකු සමඟ ඉතාම සුහදව මිත්‍රශීලීව ඇසුරු කරන දෙපක්ෂයම ඕනෑතරම් සමාජය තුළ සිටින බැව් රහසක් නොවේ. එදා මහ රෑ සොර සැමියෙකු ගේ තුළට ගෙන්වාගෙන ඒ අතර වාරයේ ඇත්ත සැමියා ගෙට ගොඩ වදින මොහොතේ අළුකුල්ලකින් ඔහුට ගසන ක්‍රමයක් පැරණි කාලේ පැවතිණ.

අද එවැනි දෑ ස්මාට්පෝන් එකට බාර දී ඇත.

වනචාරී යුගයේ සිට නව තාක්ෂණ ශිල්පීය මානය දක්වා පැතිර ඇති නූතන සමහර විවාහ බැලුමක්ද යන්නත් වරෙක සිතේ. සිය කායික හා මානසික ආසාවන් මුදුන්පත්කර ගැනීම් වස් නීතියෙන් පමණක් විවාහ වී අයාලේ යන ගැහැනු හා පිරිමි කෙනෙකුත් සිටින බැව් ප්‍රසිද්ධ කරුණකි.

මෙය එක්තරා රැල්ලක් බවට පත් වී ඇත. වෙනසක් විය යුතුයි යන අදහස ක්‍රියාත්මක කිරීමට ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයම සැදී පැහැදී සිටී. සමහර විවාහක පිරිමි මුළු දවස පුරාම සිය බිරිඳ ගැන අබමල් රේණුවක් තරම් වත් නොසිතා නොසලකා සිය අවශ්‍යතාවය පිරිමසා ගැනීමට පමණක් නිදි යහනේ දී හමුවෙනු ඇත. කිසිම බිරිඳක් මෙයට කැමැති නැත. මට අවශ්‍ය වන්නේ නිරතුරුවම මට ආදරය කරන කරුණාව දක්වන ඇඟට කඩා නොපනින කාරුණික සැමියෙකි. කිසිම බිරිඳක් ලිංගික සබඳකම් ප්‍රතික්ෂේප නොකරන්නීය. ඒ බැව් සැමියා දැන ගත යුතුයි. ආදරයෙන් එකිනෙකාගේ සිත් බැඳීමෙන් ඔවුන් ලබන්නේ කිසියම් චමත්කාර ජනක ප්‍රමුදිත බවකි. කායික තෘප්තියද ආදරයේ එක් කොටසකි. එය ආදර භාෂාවේ උප භාෂාකණ්ඩයක් ලෙස දැක්වේ. එයයි සැබෑ ලිංගික සබඳතාවය. ස්පර්ශයේ මිහිරි සුවය විඳ ගැනීමට සිරුරේ සියලුම සංවේදී ස්ථාන මහත් ආසාවෙන් යුතුව පෙරමග බලා සිටින බැව් දෙදෙනාම වටහා ගත යුතු වේ.

එවිට ඕනෑම සැමියෙක් සහ බිරිඳක් සතුටුවනු ඇත. පොරොන්දම් තුළ නාඩි හා රජ්ජු අංශ දෙක මෙයට පාදක වන්නේ ය. යුගදිවිය පී‍්‍රතිමත් කර ගැනීමට එක මගක් වන්නේ සැබෑ ආදරය හා ප්‍රේමයයි. සතුන් අතරත් මේ ගති ලක්ෂණ බැඳී පවතී. නමුත් ඔවුන් එය කලාවක් ලෙස භාවිතා නොකෙරේ. විවාහයක් සාර්ථකත්වයට පත් කර ගැනීමට අවශ්‍ය පෝෂණ පදාර්ථයන් වන්නේ හුදෙක්ම දෙදෙනා අතර අන්‍යෝන්‍ය මනා අවබෝධය ලෙන්ගතුකම ආලය, ආදරය, මෙන්ම ඉහවහ ගිය රස සෞන්දර්යයි. ගතින් පමණක්ම විවාහවීමේ අවසන් ප්‍රතිඵලය දික්කසාදය තෙක් වන්නට පිළිවන. සිතත් ගතත් එකම ස්ථාවරයක බැඳී ඇත්නම් පමණක් ජීවිත කාලය පුරාම හදවත් දෙකම එකට බැඳී පවති.

ඡ්‍යොතිෂ සහ වාස්තු විද්‍යාවේදී ටී.හෙන්රි

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.