නිවැරදිව බුදු පහන දල්වා ජීවිතය ආලෝකමත් කරගන්න

අප්‍රේල් 19, 2019

නිවසේ බුදු පහන ඔබ කොපමණ තබා ඇත්ද?

උදේ සවස මේ බුදු පහනේ ආලෝකයෙන් ඔබගේ නිවෙස එළිය වෙන්නට ඇති. නමුත් සමහර අය බුදු පහන තබන ගමන් එහි ගුණයක් නොමැති බව හා නිතරම කරදරමයි කියන වාර අනන්තවත් ඇත. එහි වරද ඔබගේමය.

පවුලේ සතුට, සමගිය, දියුණුව, දරුවන්ගේ ඉගෙනීමේ හැකියාව ඇතිකර මාරක බාධක අනතුරු දුරු කරගෙන යහපත් ජීවිත ගත කිරීමට එයින් හැකි වේවි. දරුණු නවග්‍රහ අපල, ඒරාෂ්ටක අපලවලින් පවා ඔබව ගලවා ගන්නේ බුදු පහනේ ආලෝකයයි. එයින් සතුටට පත්වන විශ්වයේ බලයයි.සම්‍යක් දෘෂ්ටික දේව සමූහයායි. බුදුගුණ බලය තව අවුරුදු 2440 කාලයකට ඉදිරියට ඇත. බුදුගුණ බලය අනන්තයි. අප්‍රමාණයි.

නිවැරදිව සෙත් ලැබෙන අයුරින් බුදු පහන මෙසේ අලුත් කරගන්න. ඔබ තබන පහන පිරිසුදු විය යුතු යි. මාළු හෝ මස් වැනි දේ වෙනත් පිළි වර්ගයක් අතගා බුදු පහන අල්ලන්නට එපා.

සිත පිරිසුදු කරගන්න. ඔබ දුප්පත් වුවත් පොහොසත් වුවත් එයින් ප්‍රශ්නයක් නැත.

මුහුණ ශරීරය පිරිසුදු වගේම හිත ද පිරිසුදු කර ගන්න.

බුද්ධ පූජාව තබනවා නම් එම භාජන වෙනම තබන්න. පිරිසුදුව තබා ගන්න. වෙන් කරන ලද බන්දේසියක හෝ ලොකු පිරිසුදු භාජනයක පැන් පෙරා තබා ගන්න.

සුදු කහ මල් තබන්න.

බුද්ධ පූජාවට වෙන් කළ යමක් තිබේ නම් බත්, පාන් හෝ ඉඳිආප්ප ආදී සුදුසු කෑම වර්ගයක් තමාට හැකි අයුරු තබා ගන්න. බුදු පහනට පිරිසුදුම තෙල් දමා ගන්න.

මේ පහන තව භාජනයක් මත තබා ගන්න. එහි විශේෂ බව මේ ලිපිය කියවා අවසානයේ ඔබට අවබෝධ වනු ඇත.

ුද්ධ පූජාව තබන විට කිසිම විට කෑම පමණක් තබන්නට එපා. පලතුරක්, අතුරුපසට යමක් තබා ගන්න. මෙය අමාරු දෙයක් නොවේ.

ඔබගේ ගෙදරට ගෙනෙන දෙයින් පළමුව වෙන් කර ගන්න. ඔබට මේ ගැන මෙතෙක් සිතුණේ නැහැ නේද? ගෙදරට ගේන කෙසෙල් ඇවරියෙන් ගෙඩි 2 ක් වෙන් කර ගන්න. මී කිරි හෝ අයිස් ක්‍රීම් කෑමට පෙර වෙන් කරන ලද පොඩි වීදුරු හෝ කප් එකකට දමා ගන්න. ඔබ සතුටින්ම මෙය කරන්න. මොකට තබනවාද විසි කරනවා නේ. අපරාදේ කියා සිතන්නට එපා. මේ මුළු ලොවම සනසාලූ උතුම් ගෞතම බුදුරජාණන් වහන්සේට මේ අතුරුපස වෙන් කරන බව සිතන්න. නිවසට ගෙනෙන පැණි, රස කැවිලි, තල කැරලි හෝ වෙනත් කැවිලි වර්ගයක් නම් පොඩි කොටසක් සිතේ සතුටින් වෙනම භාජනයක අයින් කර තබන්න. දැන් බලන්න බුද්ධ පූජාවට අතුරුපස වෙන් වූ හැටි, අමතර වියදමක් ගියේ නැහැ. මේ සුළු දේ මහා විශාල පුණ්‍ය කර්මයක් බව සිතුනේ නැහැ නේද? ඉතාම වටිනා දේ දැන් ඉගෙන ගන්න. ඔබ ගෙදර ස්වාමියා නම් බිරිඳට දරුවන්ට සලකන්න. නොපමාව යුතුකම් ඉටුකරන්න. දුරාචාරේ හෝ සූදුවට සුරාවට ඇබ්බැහි වී නම් එය නවතා දමන්න. තමාගේ වයසක අම්මාට, තාත්තාට, ආච්චීට හෝ සීයාට සලකන්න. බේත් හේත් ටික ලබාදෙන්න. තමාට ඇති අයුරු කරන්න. බිරිඳක් නම් තම ස්වාමියාට කීකරු වන්න. ස්වාමියා කරන කියන යහපත් හරි දේට සහාය දෙන්න. පති භක්තිය ඇති කර ගන්න. පතිවත රකින්න ඕන. මේ විශ්වයේ එකම එක විශේෂ බලයක් පවතිනවා. එනම් සත්‍යයේ බලයයි.

විශ්වයේ කොපමණ බලයක් තිබෙනවාද? ඒ බලවලට සමාන කළ හැකි විශේෂ බලය පරම සත්‍යයේ බලයයි. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ද බුද්ධත්වයට ලබන්නට පෙර අධිෂ්ඨානයක් කළහ. එය අධිෂ්ඨානයක් වුවත් අධිෂ්ඨාන කරන්නට නම් තමා තුළ සත්‍ය තිබෙන්නට අවශ්‍ය වෙයි. බුද්ධත්වය ලබන්නට පෙර දන් වැළඳූ පාත්‍රය උඩුගම් බලා යේවායි අධිෂ්ඨාන කළේ ය. අපට ද ප්‍රාර්ථනා අධිෂ්ඨාන අනන්තවත් තිබේ. නමුත් විශ්වයේ බලය, ලබන්නට නම් අපට සත්‍යයේ බලය අවශ්‍යම වෙයි.

මේ ලෙස පත්තිනි දේවියත් තම ස්වාමියා වෙනුවෙන් සත්‍ය ක්‍රියා කළා ය. ඒ තම පති භක්තියේ සත්‍ය බව ඔප්පු කරමිනි. බුදු පහන තබන විට පළමුව පන්සිල් ගෙන ඉතිපිසෝ ගාථාව 7 වරක් කියන්න.

සබ්බ පාපස්ස ගාථාව 7 වරක් කියන්න.

ඉතිපිසෝ ගාථාව නව අරහාදී බුදුගුණ සත්‍ය පවතිනවා. සබ්බපාපස්ස ගාථාවේ කුසලයෙහි පිහිටීම තිබෙනවා.

මේ ලෙස කාලයක්ම කරන විට දින සති ගෙවෙන විට ඔබට තිබෙන කරදර බාධක ටික ටික ගෙවී යහපත උදාවන බව තමාටම අත්දැක ගන්න ලැබේවි. කුසලය සත්‍ය නැතිව තබන බුදු පහනෙන් බලයක් පිහිටන්නේ නැහැ. නමුත් පින පවතිනවා. සත්‍යයේ බලයක් නැහැ. තවත් විශේෂ දෙයක් තිබෙනවා. අභිනව පහන් තැබීමට සුදුසුම වේලාව. නිවසේ අලුතින් බුදු පහන තබන අයට හා බුදු පහන සත්‍යයේ පිහිටා තබන්නට සිතන හා අධිෂ්ඨාන කරන අයට සුබ හෝරාවක පහන තබන්න. අභිජිත් කියන බොහෝ ගුණ දෙන ප්‍රබල මුහුර්ථය උදාවන වේලාව ඉර උදාව අනුව ශුද්ධ කර ගන්න. එය අභිනව පහන් තැබීමට සුදුසුම වේලාවයි.

ඉර උදාවී උදේ 6.00 ලෙස සලකාගෙන ඔබට පහසු දින 02 ක් මේ සමඟ සඳහන් කරන්නම්.

ඉරිදා දිනයේ උදේ 11.00 ට බ්‍රහස්පති හෝරාව උදාවේ. සෙනසුරුගේ පංචම හෝරාවේ මෙම අභිජිත් මුහුර්ථය උදාවෙයි. (ඉර උදාව අනුව වේලාව සකසා ගන්න.) දින 07 තුළ අභිජිත් මුහුර්ථය යෙදෙන වේලාවන් ඇති නමුත් සඳුදා දිනය උදේ 6.00 ට ඉර උදාව සේ ගත්විට උදේ 10.00 ට රවි ග්‍රහයාගේ හෝරාවේ රවි ග්‍රහයාගේම පංචම කාලයේ මෙම අභිජිත් කියන ශුභ මුහුර්ථය උදාවේ. ශුභ කටයුතු කරන අතර බුදු පහන අලුතින් තැබීම ආරම්භ කිරීමට ද ශුභ වෙයි. තමාට ශුභ දිනයකට යෙදෙන අභිජිත් මුහුර්ථය ඔබට ඔබගේ ඡ්‍යොතිෂවේදීන් ලවා සාදවා ගෙන කටයුතු කළ හැකි ය.

මෙමඟින් නිවෙසේ පවතින වාස්තු දෝෂ පවා මගහැරී යනු ඇත. අණවින කොඩිවින පවා ඉගිලී යනු ඇත. උතුම් බුදුගුණ හා තුණුරුවන්ගේ බලය අසීමිතයි. දුව පුතාගේ විභාග ආදියට යන විට අධිෂ්ඨාන කරන්න. මාගේ සත්‍යයේ බලයෙන් දරුවන්ට ජය වේවායි පතන්න. ප්‍රබල ශුභ දශාවක් ලබා නම් ගුණ අධිකව ලැබේ.

පහනේ තෙල් නළලත තිලක තබන්න. මා කියූ පරිදි පහන තවත් භාජනයක දමා තබන්න. එවිට එයින් වැටෙන හා කාන්දුවන තෙල්වල බලයක් මතු වෙනවා. එම තෙල් බිඳක් හිස ගල්වන්න. රෝග පවා සුව වෙයි. බොන බෙහෙත්වලින් ගුණ ලැබෙයි. ලෙඩක් හැදුණත් එක බෙහෙතෙන් සුවය ලබයි. පවුලේ සතුට සමඟිය ඇති වේ. ධනය ගෞරවය ලැබේ. මේ සත්‍ය ක්‍රියාව අත්හදා බලන්න.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

ඡ්‍යොතිෂ විද්‍යාකීර්ති නිහාල්හේ වාබටගොඩගේ පානදුර

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.