සත්වයන්ට සෙත සදන සම්බුදුදහම හා ආයුර්වේදය

ජූලි 2, 2021

කරුණා සීතල හදයං පඤ්ඤා පජ්ජෝත විහත මොහතමං සණරාමර ලෝක ගරුං වන්දේ සුගතං ගතිවිමුත්තං

 

සකල ජනමන සනසන කරුණා ගුණයෙන් සිහිල් වූ අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විශ්වයේ පැවැත්ම හා විනාශය යථාපරිදි අවබෝධ කරගෙන සත්වයාට සසරින් මිඳීම සඳහා අත්‍යවශ්‍ය කරුණු පමණක් දේශනා කළ සේක.

එම උතුම් දහම හා ආයුර්වේදය සත්ව සන්තතියේ පැවැත්ම උදෙසා කළ සේවය ලෝකයේ වෙනත් කිසිම විෂයකින් සිදුවී නොමැත. මෙම විෂයධාරා දෙක කේන්ද්‍ර කරගෙන බිහි වූ අතිශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයන් සම්බන්ධව රහතන් වහන්සේලා මුනිවරු, ඉසිවරු, තවුසන්, ශාස්ත්‍රවන්තයන් වෛද්‍ය විශේෂඥයන් බිහි වී ලියනලද ලිපි ලේඛන ශබ්දකෝෂ නිඝණ්ඩු ගද්‍ය පද්‍ය නාට්‍ය සංගීත ලක්ෂ කෝටිගණනින් ප්‍රචලිත වී ඇති අයුරු දක්නට පුළුවන.

බුදුදහම මෙන්ම ආයුර්වේදයත් එකම පරිසරයක බිහිවී පෝෂණය වී අපමණ සත්වයන්ගේ කායික මානසසික වේදනා සමනය කිරීමට මහෝපකාරී විය.

භාරත පුණ්‍ය භූමියේ බිහිවූ ගංගාධාර ශිෂ්ටාචාර ඉතිහාසයට වසර හත්දාහක පමණ කාල පරිච්ඡේදයක් අයත් වන බව ඉන්දියන් ඉතිහාසයෙන් පැහැදිලිවන්නේ ය. මානව පරපුරේ ජීවන කාලය කලින් කලට වෙනස්වන අතර වසර සියයකට අඩුවැඩිව ඉතා සුළු කාල පරිච්ඡේදයක් ජීවත්වන මෙම මානව පරපුර එම ආයු ප්‍රමාණය උපරිම වශයෙන් ආරක්ෂා කරගැනීමට වාසනාභගී වන්නේ සසරදී කරන ලද අවිහිංසාවාදී කුසලකර්මයන්ගේ බලමහිමයෙනි.

මනුලොව අතිදීර්ඝ කාල පරිච්ඡේදයකට පසුව ලොව්තුරා බුදු කෙනෙකුන් පහළවුවද එම ධර්මය අසා අවබෝධ කරගන්ට තරම් නැණවත් සම්පූර්ණ මිනිසත්බවක් නොලැබුණොත් අර්ථයක් සිදු නොවන්නේ ය.

බුද්ධ ධර්මය ඇසීමෙන් හා සිතීමෙන් මෙන්ම ධාරණය කරගෙන පිළිපැදීමෙන් සංසාරික වශයෙන් අනිවාර්යයෙන් සිදුවන ජාති, ජරා, ව්‍යාධි මරණාදියෙන් මිඳී උතුම් නිවණ ලබාගත් අසංඛ්‍ය සංඛ්‍යාත සත්වයන් පිළිබඳව සඳහන්වන අතර මෙම ශාසනය පවත්නා තාක් මත්තට ද අසංඛ්‍ය සංඛ්‍යාත සත්වයන් දෙව් මිනිස් හා නිවන් සම්පත් ලබන්නේ ය.

සත්ව ජීවිතයේ පැවැත්මට අදාළව ආයුර්වේදයෙන් ප්‍රධාන කාරණා තුනක් කෙරෙන්නේ ය.

1. රෝග නිදානය සොයාගැනීම.

2. රෝගයට පිළියම

3. රෝග සමනය.

පූර්ව කර්මය, පරිසරය, සාවද්‍ය ශරීර පරිශීලනය එමෙන්ම පුද්ගලාන්තර ගැටීම් නිසා ඇතිවන කායික, මානසික රෝගාබාධ වද වේදනාවලට පිළියම් වශයෙන් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ මෙන්ම බුදුදහමේ ද විද්‍යාත්මක චිකිත්සා ක්‍රම දක්නට පුළුවන.

ඉසිවරයන් විසින් සංහිතා කරණ ලද ආයුර්වේදය ඤාණ කර්ම දෙකම පදනම් කරගෙන ක්‍රමයෙන් දියුණු වූ අතර ශාරීරික විද්‍යාවත් මනෝවිඤ්ඤාණය හා ද්‍රව විඤ්ඤාණයත් හඳුනා ගැනීමේ දී මහායාන බුදු දහමත් ආයුර්වේදයත් සරල සමාන්තරව ගමන්කොට ජනතාවගේ සුවතාවයත් දෙලොව ශාන්තියත් ලබාදුන් අයුරු භාරත ඉතිහාසයෙන් දක්නට හැකි වන්නේ ය.

බුදු දහමේ ප්‍රධාන කරුණු විශ්ලේෂණය කළ අශ්වඝෝෂ, වසුබන්ධු, නාගාර්ජුන ආදී මහායාන පැවිදි පඬිවරුන් ආයුර්වේද වෛද්‍ය විශේෂඥයන් වශයෙන් උසස් විද්‍යා පීඨ මඟින් ලොවට කළ සේවය අපමණ ය.

අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ගේ සනීපාරක්ෂාව සඳහා ඖෂධ, පිළියම් ක්‍රම, දින චරියා ආදී සියලු කරුණු විනය ප්‍රඥප්ති වශයෙන් දේශනා කළ සේක. විශේෂයෙන් පුද්ගලයාගේ නරක චරිතාපදානය මානසික තාපයට ද එයින් ශාරීරික රෝගාබාධවලට මෙන්ම දිගුකාලීන වසංගත රෝගයන්ට ද හේතු වන්නේ ය.

භික්ෂූන් වහන්සේලාගේ ශාරීරික යෝග්‍යතාවය හා මානසික විවෘතභාවය ආරක්ෂා කරගැනීමෙහිලා බුදුරදුන් විසින් අනුදත් ආහාර හා ගැනීමේ ක්‍රම නවීන විද්‍යාත්මක ලෝකයට ඉතාමත් යෝග්‍යවන අතර එයින් රෝගාබාධ ඇතිවීමේ නිදාන නැතිවන්නේ ය. අල්පේච්ඡ ජීවිතයකට පුරුදුවන ශ්‍රමණයන් වහන්සේලා අවශේෂ මානව සමාජය සමඟ සැසඳීමේ දී ඉතා පරමාදර්ශයෙන් උපරිම තලයේ ස්ථාවරව සිටිති.

බුද්ධ කාලීන භාරත ජන සමාජය ආගමික වශයෙන් මෙන්ම සමාජචින්තන වශයෙන් පාරම්පරික සංකල්ප තලයට වඩා විකල්ප මාර්ග කෙරෙහි අවධානය යොමු කළ බැවින් බෞද්ධ, ජෛන දර්ශන තුළින් දාර්ශනික ව්‍යවසායක් ඇති කරන්නට සමත්විය. සුවිශේෂ වශයෙන් බෞද්ධ දර්ශනයෙන් භාෂා ශාස්ත්‍ර උපරිමයෙන් දියුණු වූ අතර මානව දයාව, පරාර්ථ චරියාව, පරිත්‍යාගය ආදී උත්තරීතර ගුණාංග සජීවීව ක්‍රියාත්මකවිය.

මහා වග්ග පාලියෙහි දැක්වෙන විස්තර අනුව අප බුදුරජාණන් වහන්සේ ආයුර්වේද වෛද්‍ය විශේෂඥවරයෙකු වශයෙන් ශ්‍රාවකයන් වහන්සේලාගේ කායික මානසික විවිධ රෝගාබාධයන් ශමණය කරන්නට බේත් හේත් පිළියම් ක්‍රම, සප්පායම් සූත්‍ර වශයෙන් විනය ප්‍රඥප්ති වශයෙන් පනවා වදාළ සේක.

මෞර්ය රාජ්‍ය පාලන සමයේ පාඨලී පුත්‍ර නගරයේ පැවැති වෛද්‍ය සේවාව දේශ දේශාන්තරව ප්‍රචලිත වූ අයුරු මෙගස්තීනීස්ගේ දේශාටන වාර්තාවේ. ධර්මාශෝක ජතුමා මානව දයාවෙන් හා අවංක ශ්‍රද්ධාවෙන් දේශ දේශාන්තරව බුද්ධාගමත් ආයුර්වේද වෛද්‍ය සේවාවත් ව්‍යාප්ත කරන්නට ප්‍රමුඛව ක්‍රියා කළ අසහාය උත්තමයා වශයෙන් සටහන් වී ඇත. ධර්මාශෝක මහරජතුමාගේ ධර්මයාත්‍රාව ආසියා මහාද්වීපයේ සෑම රටකම ක්‍රියාත්මක කිරීමේ දී ආයුර්වේදයත් බෞද්ධ දර්ශනයත් උපයෝගී කරගත් නිසා ජනතා චින්තනය ආකර්ෂණය කරගන්නට හැකි විය.

කණිෂ්ක රජතුමාද වෛද්‍ය විශේෂඥ භිෂක් රාජචරක ඉසිවරයාගේ උපදෙස් අනුව වෛද්‍ය ශාස්ත්‍රය දැනගෙන ජනතා ශුභ සාධනය උපරිමවශයෙන් ඉෂ්ට සිද්ධ කළහ. මහායාන බුද්ධාගම ව්‍යාප්ත වූ චීන, ටිබැට්, ජපන්, මොන්ගෝලියන් ආදී රාජ්‍යවල ආයුර්වේද වෛද්‍ය විද්‍යාවද දියුණු විය.

මධ්‍යම ආසියාවේ චීන දේශ සීමාවේ කාෂ්ගර් ප්‍රදේශයේ චෛත්‍යයක නටබුන් අතර ඉතා ගැඹුරු සංස්කෘත භාෂාවෙන් ලියන ලද ආයුර්වේද වෛද්‍ය ග්‍රන්ථ හතරක් හමු වී ඇත. මහායාන බුද්ධාගමත් ආයුර්වේදයත් සංස්කෘත භාෂාව ප්‍රධාන භාෂා ශාස්ත්‍ර හා සෙසු කලා ශිල්ප එකම පරිසරයකට අනුව දියුණු වූ අයුරු දක්නට පුළුවන. මෙයට භූත විද්‍යා අංශය ද සංයුක්තවීමෙන් යන්ත්‍ර, මන්ත්‍ර, තන්ත්‍ර ආදී ශාන්ති කර්ම ජනතාවගේ භෞතික අවශ්‍යතා අනුව සකස්විය.

බුදුදහම ලාංකික ජනතාවට හඳුන්වාදුන් වකවානුවේ පටන් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවක් පාලි, සිංහල, සංස්කෘත ආදී භාෂා ශාස්ත්‍ර කලාශිල්ප දියුණු වී එයින් ජනතාවගේ නව ප්‍රබෝධයත් සමඟිය හා ආර්ථික සාමාජික දියුණුවක් ඇතිවිය. හෙළ රජදරුවන් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවෙන් සිදුකළ අසිරිමත් ප්‍රතිකර්ම පිළිබඳ ඓතිහාසික වාර්තා එමෙන්ම රාජධානිවල නටබුන්, ලිඛිත ග්‍රන්ථ දක්නට පුළුවන. ආරෝග්‍යශාලා සේවය, ඔසු උයන් රෝපණය, බෙහෙත්ඔරු, කැඳඔරු, නිර්මාණය කිරීම, විවිධ චිකිත්සා කර්ම ආදී සිය දහස් ගණන් නිර්මාණ කරවන්ට, මාර්ග උපදේශ දෙන්ට රාජ්‍ය පාලනය ධාර්මිකව ගෙනයන්ට බුද්ධිය, වීරිය, කුසලතාවය ලැබුණේ බුද්ධාගමේ දක්නට ඇති සතර සංග්‍රහ වස්තු, දසරාජ ධර්ම අවංකව ක්‍රියාත්මක කළ නිසාම ය.

සබ්බේසං වෙජ්ජ සත්තානං

කත්වා සාරත්ථ සංගහං

ඨපේසි වෙජ්ජේ දීපස්ස

තිකිච්ඡත්ථ මනාගතෙ

 

ඉතා දක්ෂ චිකිත්සා වෛද්‍ය විශේෂඥවරයෙක් මෙන්ම භාෂා ශාස්ත්‍ර විශාරදයෙක් වශයෙන් බුද්ධදාස රජතුමා ලංකා ඉතිහාසයේ සටහන් වන්නේ අසිරිමත් ක්‍රියාකාරී පාලකයෙකු වශයෙනි. මානව දයාවෙන්, පරාර්ථ සේවයට කැපවූ මෙම උතුම් රජතුමා අනාගත වෛද්‍ය සේවාව වෙනුවෙන් සංස්කෘත භාෂාවෙන් ‘සාරාර්ථ සංග්‍රහ’ නම් ග්‍රන්ථය නිර්මාණය කළහ. වෙදකම, හෙදකම පරිසර විද්‍යාවට සම්බන්ධවන ආකාරය මෙම ග්‍රන්ථයෙන් ප්‍රකාශ වන්නේ ය.

ශ්‍රී ලංකාවේ ආයුර්වේදය මෙන්ම බුදු දහමද ජනතා ශුභසාධනය සඳහා උපරිම වශයෙන් උපයෝගී කරගත් උතුම් නරපතියන් අතර දුටුගැමුණු, අග්‍රබෝධි, මිහිඳු, මහා පරාක්‍රමබාහු ආදී රජවරු ආරෝග්‍යශාලා පිහිටුවීම, ගිලනුන්ට ආහාර පාන ලබාදීම, ඖෂධ වර්ග ලබාදීම, වෛද්‍යවරුන්ට වැටුප්දීම, ඔසු උයන් පිහිටුවීම එමෙන්ම වෛද්‍ය මණ්ඩල පිහිටුවා රාජ්‍ය සම්මාන දීමාදී රජයෙන් කළහැකි සියල්ලම සම්පූර්ණ කළහ.

ගම් පළාතක දෛනික ජීවිතය සම්බන්ධවන සංස්ථාපනයන් මෙහෙයවන ජන නායකයන් දිවා රාත්‍රී තමන්ට නියමිත රාජකාරිය, සේවය, යුතුකම ඉෂ්ට සිද්ධ කළ නිසාම දුප්පතුන්, යාචකයන්, හොරුන්, නිකමුන්, අඩුවිය. සාමය සමඟිය, සතුට සිත් සතන් තුළ තහවුරු විය. ඔබ සැමට තෙරුවන් සරණ ලැබේවා.

අමුණුපුර පියරතන නා හිමි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.