රවි හා සංයෝගවන ග්‍රහයන් නිසා ඔබට සිදුවන ශුභ අශුභ ඵල

මැයි 7, 2021

ග්‍රහ ලොවේ ප්‍රමුඛයා වන්නේ රවි හෙවත් හිරුය. ලෝකයේ ජීවය හා පැවැත්ම හිරු මත රඳාපවතියි. කේන්ද්‍රයක හිරුගේ තැන්පත්වීම ජීවිතය පිළිබඳ කියාපාන කැඩපත වේ. කේන්ද්‍රයක හිරු ලග්නයේ හෝ එකොළොස් වැන්නේ සිටීම සියලු අරිටු යෝග භංග වන ශුභ පිහිටීමක් ලෙස හැඳින් වේ.

රවි ග්‍රහලොවේ පියා ලෙස සලකන අතර එඩිතරකම , ධෛර්ය, වීර්යය, රඳාගැනීමේ හැකියාව, නිරෝගිකම, දීර්ඝායුෂ, ප්‍රසිද්ධිය, බලය ඥානය, සිතුවිලි ගමන් කරන ආකාරය රවිගේ පිහිටීම අනුව දැකගත හැකිය.

 

රවි – සඳු

මෙම සංයෝගය සාමාන්‍යයෙන් ශුභදායකය. මෙම යෝගය ජන්මියා රජයේ සේවකයකු වීමට ඇති ඉඩකඩ වැඩි යෝගයකි. කටක රාශියේ මෙම සංයෝගය යෙදුණහොත් ජන්මියා නිතර රෝගවලට බදුන්වන අන් අයගේ අයුතු තාඩන පීඩන වලට ලක්වන අයෙකි. කටක රාශියේ සිටින සඳු රවිගේ ත්‍රිකෝණ දෘෂ්ටියට ලක්වේ නම් තරමක් උඩඟු නිතරම ඉහළ තත්ත්වයකට යාමට සිතන සාර්ථක ජීවිතයක් ගත කරන අයෙකි.

රවි සඳුගෙන් කේන්ද්‍රගතවී සිටියේ නම් කලහකාරි මුරණ්ඩු පමණ ඉක්මවා බලයට හා ඉහළ යාමට තැත් දරන නාස්තිකාර පුද්ගලයකු බිහිකරවයි. මුහුණේ ලප , කැළැල් ඇත. ඇස් පෙනීම දුර්වල කරයි.

රවි සඳු යෝගය සිංහරාශියේ යෙදුණහොත් ජන්මියා කලබල සහිත චංචල අදහස් ඇති පුද්ගලයෙකි. සඳු සිංහ රාශියේ යෙදී එයින් ත්‍රිකෝණගතව රවි සිටියදී උපන් තැනැත්තාට ධනය ලැබේ. එහෙත් සිංහ රාශියේ සඳුගෙන් කේන්ද්‍රගතව රවි සිටීනම් යහපත් නොවේ. දුක් පීඩා උරුම අවුල් සිතැති පුද්ගලයකු එම යෝගයෙන් බිහි කරවයි.

සාමාන්‍යයෙන් රවි සඳු යෝගය හිසේ වේදනාවන් දුබල ඇස් පෙනීම ආදිය හඟවයි. ස්ත්‍රීන් හෝ ජලය සම්බන්ධ කටයුතු හෝ ගමන් බිමන් නිසා ධනය වියදම් වී යයි. චන්ද්‍රයා ඉතා ප්‍රබල ලෙස පිහිටා ඇත්නම් තමා යන සැම තැනකදීම හොඳින් පිළිගැනීමකට ලක්වනු ඇත. නමුත් ගෘහ ජීවිතය එතරම් සතුටුදායක නොවේ.

රවි ඉතා බලවත්ව සිටිය හොත් හැර රවි සඳුට කේන්ද්‍රගතව පෙනීම හොඳ නැත. නිතර අපවාද වලට ලක්වන විවාහ ජීවිතයේ අඩුපාඩු ඇතිවන නිතර රෝගාබාධ වලට ලක්වන අයෙකි. රවි හා සඳු යන දෙදෙනාම යම් හෙයකින් අශුභව දුෂ්ටව සිටියහොත් ඉතා නරක ප්‍රතිඵල ලැබේ.

 

රවි – කුජ

මෙම දෙදෙනා යෝගවීම රවි කුජගෙන් කේන්ද්‍ර ත්‍රිකෝණ ගතවීම හෝ සම සප්තමවීම ආදිය ඉතා ප්‍රබල ලෙස බලපානු ඇත.රවි හා කුජ යන ග්‍රහයන් දෙදෙනාම එකම ආකාරයේ ගති ස්වභාව බොහෝ දුරට ඇති ග්‍රහයින් දෙදෙනෙකි. එබැවින් මොවුන්ගෙන් යෙදෙන යෝග එතරම් තදබල අශුභ විපාක සාමාන්‍යයෙන් ගෙන නොදේ.

එහෙත් දෙදෙනාම දැඩි උණුසුම් ග්‍රහයන් දෙදෙනකු නිසා විශේෂයෙන් ගිනියම් රෝගවලට හා ඇතැම් විට හදවත් රෝගවලට ද ඉඩ ඇත.

රවි කුජ යෝගය ජන්මියාට යටත් නොවී සටන් කිරීමේ ශක්තිය දරා ගැනීමේ ශක්තිය වෙන්ව ඔරොත්තු දීමේ ශක්තිය ද ඇති කරයි. ඕනෑම භාරදුර කටයුත්තක් කිරීමට වුවත් නොබියව ඉදිරිපත්වන කාර්යශූර පුද්ගලයකු බිහිකරයි. ඉතාමත් ශක්තිමත් අයකු වන අතර ඇතැම්විට පමණ ඉක්මවා කටයුතු කරන අයකු ද වනු ඇත. බුද්ධිය මෙහෙයවා කරන කටයුතු වලින් තම හපන්කම් පෙන්වයි.

රවි හා කුජ අතර අන්‍යෝන්‍ය වශයෙන් අශුභ දෘෂ්ටි සංයෝග ආදි පිහිටීම් ඇතිවු විට රළු ගතිගුණ ඉක්මන් කෝපවීම් නිතරම දබරයට පි‍්‍රය බව ආදී ගති ස්වභාවයන් ඇති කරයි. ඉතා සුලු දෙයට වුව ද ඉක්මනින් කෝපවන අතර ප්‍රධානම දුර්වලතාවය නම් ඕනෑම අවස්ථාවකදී අපක්ෂපාති විනිශ්චයකට එළඹීමට ඇති නොහැකියාවයි.

 

රවි – බුධ

රවි හා බුධ කිසිවිටකත් එකිනෙකාගෙන් අංශක 280කට වඩා ඈතින් නොපිහිටන නිසා ඉඩ ඇත්තේ රවි බුධ සංයෝග වීමකට පමණි. චතුරශ්‍ර, සප්තම, ත්‍රිකෝණ ආදි යෙදුම්වලට අවකාශ නැත. පරිවර්තනයකට පමණක් ඉඩ තිබේ.(බුධ සිංහයේ , රවි කන්‍යාවේ)

රවි බුධ සංයෝගය ජන්මියාගේ මානසික නම්‍යතාව සහ යම් තත්ත්වයකට සුදුසු සේ මනස හැඩගස්වා ගැනීම කෙරෙහි විශේෂයෙන් බලපායි. රවි, බුධ යෝගයට ශුභදෘෂ්ටි එල්ල වුවහොත් තියුණූ බුද්ධියක් ඇති අයකු කරවන අතර ප්‍රචාරක ව්‍යාපාර ආදියෙහි සමත්වන්නට සේම ඒවායින් දියුණුව ද ලබයි.

අශූභ දෘෂ්ටි ලැබුණහොත් තියුණු බුද්ධියක් තිබුණත් ජීවිතයක් ඇතැම් අවස්ථාවලදී මනසෙහි ව්‍යාකූල බවක් ඇති කිරීමට බලයි. ඉතා තියුණු කතා විලාශයක් ඇති අතර අන් අයගේ විවේචනයට ද ලක්වනු ඇත.

රවි බුධ යෝගය බුධ ආදිත්‍ය යෝගය ලෙස ද හඳුන්වන අතර රවි බුධ යෝගය වඩා හොඳ ප්‍රතිඵල දෙන්නේ මේෂ, සිංහ , මිථුන, කන්‍යා යන රාශිවලින් එකක යෙදුන විටය. මෙම රාශිවල රවි බුධ යෝගය යෙදීමෙන් ලේඛකයින් ආචාර්යවරුන් වැනි බුද්ධිය මෙහෙයවා කරන වෘත්තින් කරන අයකු ද වනු ඇත. ලග්නයේ යෙදුනවිට ඉතා ශුභවන අතර ධෛර්ය, කථාවෙහි දක්ෂබව දීර්ඝායුෂ ලබාදේ.

සිව් වැන්නේ යෙදුණේ නම් ජනප්‍රසාදය හා යස ඉසුරු ලැබේ. හත්වැන්නේ බලරහිත වන අතර 10 වැන්නේ ඉඩ කඩම්,ධනය, ප්‍රසිද්ධිය ආදි සැපසම්පත් වලින් අඩුවක් නොමැති අයකුවේ.

සාමාන්‍යයෙන් රවි හා බුධ අතර අංශක 15 පරතරය ශුභදායක වන අතර අංශක 22 1/2 ක කෝණයක් පැවතීම අශුභ ලෙස සලකනු ලැබේ.

 

රවි – ගුරු

ඉතා උසස් ග්‍රහ සංයෝග අතරින් එකක් වන මෙම සංයෝගය ධාර්මික බවින් පරිපූර්ණ වූ අයකු බිහි කරන අතර ජනතාව අතර ප්‍රධාන ස්ථානයක් ද ගෞරවයට ද පත්වන අයෙකු කරවයි.

රවි ගුරු සංයෝගයට වෙනත් දෘෂ්ටින් එල්ලවුවහොත් උසස්පල ලැබේ. ක්‍රියාශීලිබව මෙන්ම නිතර ප්‍රයෝජනවත් කටයුත්තක යෙදීමට හැකි නැඹුරුව මෙන්ම උසස් මානසික තත්ත්වයක් ඇතිව කටයුතු කරන අයෙකු ද වනු ඇත.

අශුභ දෘෂ්ටි ලැබුණහොත් විවිධ කරදරවලට මුහුණදීමට සිදුවනු ඇත.

 

රවි – සිකුරු

බුද්ධිය යහපත් හැසිරීම ආදිය ජන්මියාට මනාව පිහිටන අතර චතුර කථිකත්වයක් ද ඇතිවේ. මෘදු හා රළු ගතිගුණ වල සංකලනයක් ජන්මියාගේ හැසිරීම් රටාව තුළින් දැකිය හැකිය. කලා ක්ෂේත්‍රයේ කටයුතුවලට ද දක්ෂ අයෙක් වන අතර හොඳ උසස් අධ්‍යාපනයක් ද යහපත් පවුල් ජීවිතයක් ද පොදුවේ ගත් කල මෙබදු ජන්මින්ට උරුම වේ. පුරුෂයකුට නම් බුද්ධිමත් බිරිඳක් හිමිවේ.

අංශක 30 ඈතින් රවි හා සිකුරු සිටිනවිට සාමය සතුට සේම අලංකාරයට ඇලුම් කරන අයෙකු වේ. රවි හා සිකුරු අතර අංශක 45 කෝණය ජන්මියාට අශුභය. මානසිකව පීඩාවන් ද ඉතා සුලු දෙයකින් කලබලවන ගතියක් ද ඇතිවේ. විවාහ ජීවිතයට ද යෝග්‍ය ග්‍රහ පිහිටීමක් නොවේ.

සමාජයෙහි ගැවසීමට අකමැති ඉදිරියට නොඑන ලජ්ජාශීලි සංවේදී මනසක් හිමිව ඉපදීමට එම රවි සිකුරු අතර අංශක 45 ක පරතරය හේතුවේ.

මෙම රවි සිකුරු යෝගය යම් තැනැත්තකුගේ කටක හෝ වෘශ්චික රාශියක පිහිටිය හොත් බේබදු පුද්ගලයකු වනු ඇත.

මතු සම්බන්ධයි

 

ජ්‍යෙතිෂ රත්නාකර

ගීතිකා සමරතුංග

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.