දශා විනිශ්චයට පාදකවන විශේෂ සිද්ධාන්ත

දෙසැම්බර් 25, 2020

යම් කෙනෙකුගේ ජන්මපත්‍රය අනුව ගෙවෙමින් පවතින දසාව ශුභ ග්‍රහයකුට අයිති වූ පමණින් යහපත් ප්‍රතිඵල හෝ පාප ග්‍රහයකුට හිමිවූ පමණින් අයහපත් ඵල හෝ ලැබේ යයි කිසිම ලෙසකින් විනිශ්චය කිරීමට නුපුළුවන.

ඒ ඒ ග්‍රහයන් හිමිකරගත් භාව අනුවත් තමන්ගේ ලග්නය අනුවත් ලග්නයේ ග්‍රහයන් පිහිටා ඇති ආකාරය අනුවත් එම ග්‍රහයන්ගේ බල දුබලතා අනුවත් නිගමනයකට බැසිය යුතුය.

නමුත් දශා විනිශ්චය සඳහා වෙනත් සිද්ධාන්තයන්ද උපයෝගී කර ගන්නා දෛවඥ මහතුන්ද සිටී. ඒ අනුව විශේෂ කරුණු කීපයක් සහිතව දක්වා ඇත.

මෙහි පළමු නියමය නම්

ග්‍රහයකු හෝ රාශි අධිපතියෙක් සුබඵල දායකද යන්න සොයා බැලීමයි. මෙයින් අදහස් කරන්නේ නියම ආකාරයට සුබ ඵල දෙන ග්‍රහයා සොයා ගැනීමයි. දශා අධිපති ග්‍රහයා ලග්නාධිපති ග්‍රහයාට සතුරුවු විට දශාව අසුබ බල යයිද දශාධිපති ග්‍රහයා ලග්නාධිපති ග්‍රහයාට මිත්‍රවූ විට දශා කාලය සුබදායක ද වේ.

ග්‍රහයන් දෙදෙනා සම තත්ත්වයේ නම් කුමන තත්ත්වයේ පල ලැබෙන්නේ දැයි විශේෂ පරික්ෂාවකට ලක් කළ යුතුය. මෙම සතුරු සහ මිතුරු නිගමනයෙදී පළමු න්‍යාය වන්නේ ලග්නාධිපති යම් රාශියකට අධිපතිද එයින් හතවන රාශිය අධිපතියා ඔහුට සතුරුවන බවයි.

ලග්නය සිංහ නම් ලග්නාධිපති රවි සහ හත්වැන්නාධිපති ශනි සතුරුය. අනිකුත් ග්‍රහයන් සහ රාහු කේතු සම්බන්ධයෙන්ද මේ අන්දමින් සලකා බැලිය යුතුය.

සතුරු දශා නිගමනයේදි දෙවැනි න්‍යාය

යම් ග්‍රහයෙක් යම් රාශියකට අධිපතිද ඊට සත්වැනි රාශිය අධිපති ග්‍රහයා සතුරු වූවා මෙන්ම ඉහත සත්වැනි රාශිය අධිපති ග්‍රහයාගෙන් පස්වැනි සහ නවවැනි රාශී අධිපතියන්ද ඉහත කී රාශිය සහ ග්‍රහයාගේ සතුරන් වේ.

උදාහරණ, රවි , සිංහ රාශියට අධිපතිය. ඊට සප්තම රාශිය කුම්භය වන අතර අයිති ශනි ය. එම ශනි රවිට සතුරු වූවාක් මෙන් කුම්භ රාශියෙන් පස්වන සහ නවවන රාශි වන මිථුන තුලා අධිපති ග්‍රහයන් වන බුධ සහ සිකුරුද රවිට සතුරු වේ.

මේ නියමය අනුව කුමන රාශින් හෝ ග්‍රහයන් සතුරු රාශින්ද සතුරු ග්‍රහයන්ද යන්න නිගමනය කර ගැනීමට හැකිවෙයි. ඉහත සඳහන් න්‍යාය ධර්මය අනුව රාශි සත් ග්‍රහයන්ගේ සතුරු තත්ත්ව විමසීම මෙසේද සිදුවෙයි.

මේෂ රාශිය අධිපති කුජට බුධ සහ සෙනසුරු සතුරුවෙයි. වෘෂභ රාශිය අධිපති සිකුරුට සඳු, කුජ, ගුරු සහ කේතු සතුරු වෙයි. මිථුන රාශිය අධිපති බුධට රවි කුජ සහ ගුරු සතුරුය. කටක රාශිය අධිපති සඳුට බුධ සිකුරු සෙනසුරු සහ රාහු සතුරුය. සිංහ රාශිය අධිපති රවිට බුධ සිකුරු සහ සෙනසුරු සතුරුය. කන්‍යා රාශිය අධිපති බුධට සඳු, කුජ, ගුරු සහ කේතු සතුරුය. තුලා රාශිය අධිපති සිකුරුට රවි කුජ ගුරු සතුරුය. වෘශ්චික රාශිය අධිපති කුජට බුධ, සිකුරු ,සෙනසුරු සහ රාහු සතුරු වේ.

ධනු රාශිය අධිපති ගුරුට බුධ , සිකුරු, සෙනසුරු සතුරුය. මකර රාශිය අධිපති සෙනසුරුට රවි සහ කුජද මීන රාශියට අධිපති ගුරුට බුධ සිකුරු ,සෙනසුරු සහ රාහු සතුරු වේ.

රාශි අධිපති ග්‍රහයන්ට සතුරු ග්‍රහයන් නිගමනය කිරීමෙන් පසු රාශි අධිපති ග්‍රහයන්ගේ මිතුරන්ද සොයාගත යුතුය. ඒ නිසා යම් කිසි රාශියක් අධිපති ග්‍රහයාට ඊට පස්වැනි සහ නවවැනි රාශිය අධිපති ග්‍රහයා මිත්‍ර වෙයි.

උදාහරණ ලෙස මේෂ රාශිය අධිපති කුජට ඊට පස්වන රාශිය වන සිංහයත් එහි අධිපති රවිත් නවවන රාශිය ධනුවත් අධිපති ගුරුත් මිත්‍රවෙයි. එසේම වෘෂභය අධිපති සිකුරුට එයින් පස්වන රාශිය වන කන්‍යාවත් නව වන රාශිය වන මකරයවත් අධිපති බුධ සහ සෙනසුරු මිත්‍රවේ.

ඉතිරි රාශි සහ රාශි අධිපති ග්‍රහයන් සතුරු සම හා මිතුරු සම යන දෙයාකාරයෙන් ගණිනු ලැබේ.

එනම් සතුරු අල්ප සතුරු සහ මිත්‍රවද අල්ප මිත්‍ර ආදි වශයෙනි.

මේෂ ලග්න හිමියාට සත්වැන්න සතුරු වෙයි. එහි අධිපති සිකුරුය. එවිට දෙවැන්න අධිපති සිකුරුද සතුරු ගණයට වැටුණද එම සතුරු භාවය මධ්‍යස්ථ එකකි.

න්‍යායට අනුව තෙවැන්න බුධ සිකුරු නිසාත් හයවැන්න අධිපති බුධ ද සතුරු නිසාත් සිකුරුට සම තත්ත්වයදීමට සිදුවෙයි. එකොළොස්වැන්න අධිපති සෙනසුරු සතුරු ග්‍රහයාවී දසවැන්න අධිපතිකම ලැබුවේ නම් එයද සතුරු නිසා එවිටද සතුරු එම තත්ත්වය දීමට සුදුසු වෙයි.

පෙර කී පරිදි මේෂ රාශිය හිමියකුට ධනු රාශිය අධිපති ගුරු මිත්‍ර ග්‍රහයෙකි. මෙහිදි 12 අධිපති වීමෙන්ද ගුරු මිත්‍රග්‍රහයෙක්වූ නිසා එම මිත්‍රභාවය අල්ප මිත්‍ර හෙවත් මිත්‍ර සම ලෙසින් හඳුන්වයි.

මේ නිසා රාශි හෝ රාශි අධිපතින් සතර ආකාරයකට බෙදීම සිදුවෙයි. පළමුවැන්න සතුරු දෙවැන්න සතුරු සම තෙවැන්න මිත්‍ර සහ සිව්වැන්න මිතුරු සිට යන ආකාරයටය.

මේ අන්දමට ගණනය කර ලැබෙන දශා විනිශ්චයෙන් යහපත් ප්‍රතිඵල ලැබිය හැකි බව ඍෂින් විසින් පෙන්වාදී ඇත.

 

ඡ්‍යොතිෂවේදී වාස්තු විද්‍යා උපදේශක යාන්ත්‍රික ඉංජිනේරු නිශාන්ත විජේසේන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.