කේන්ද්‍රයක ඇති විවාහ ප්‍රමාද දෝෂ සහ අවිවාහක යෝග

ඔක්තෝබර් 16, 2020

විවාහය පුද්ගලයෙකුගේ ජීවිතයේ ඉතා වැදගත් සන්ධිස්ථානයක් වශයෙන් සඳහන් කළ හැකිය. එය පුද්ගලයෙකුගේ ඉපදීමත්, මරණයත් යන සිදුවීම් දෙක අතර ජීවිතයේ සිදුවන ඉතාම වැදගත් දෙයක් වශයෙන් සැලකිය හැකිය.

බොහෝ තරුණ තරුණියන් තමන්ගේ විවාහ වන වයස සීමාවේදී පේ‍්‍රම සම්බන්ධතාවයකින් හෝ මව්පියන් විසින් සොයාදෙන විවාහ යෝජනාවකින් විවාහ ජීවිතයට ඇතුළු වේ. එසේ වුවත් සමහර අයට නිසි කල වයසේදී ඉහත සඳහන් කරන ලද ක්‍රම දෙකෙන් කුමන හෝ ක්‍රමයකින්වත් විවාහ ජීවිතයට පිවිසීමට නොහැකි වී ඇත. මේ හේතුව නිසා එම විවාහ අපේක්ෂිත ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම සහ ඒ අයගේ මව්පියන්ට ද එය ඉතාම පීඩාකාරි මෙන්ම අසහනකාරි තත්ත්වයක් වී ඇත. විශේෂයෙන්ම ගැහැණු දරුවන් සිටින මව්පියන්ට මෙය ඉතා තදින් බලපා ඇත. කෙතරම් උත්සාහ කළ ද විවාහ යෝජනා කොතෙකුත් ගෙන ආවද ඒවා සාර්ථක තත්ත්වයට පත් නොවන බව මව්පියන් පවසන කරුණක් වේ. තවත් සමහර අයට විවාහ යෝජනා ස්ථිර කරගෙන විවාහයට සූදානම් වීමට ඉතා ආසන්නව තිබියදීත් එයට කුමන හෝ බාධාවක් නිසා එය සිදු කර ගැනීමට නොහැකි වී ඇත. සමහර අයට දීර්ඝ කාලයක් පේ‍්‍රම සම්බන්ධතා පවත්වා අවසානයේ විවාහය සඳහා සියලු කටයුතු සූදානම්ව තිබුණ ද කුමන හෝ කාරණාවක් නිසා එය සිදු කර ගැනීමට බැරි වූ අයද සිටී. මෙසේ වීමට ප්‍රධාන වශයෙන් ඒ අයගේ කේන්ද්‍රවල ඇති විවාහ ප්‍රමාද කරන ග්‍රහ යෝග සහ අවිවාහක ග්‍රහ යෝග බලපා ඇත. කේන්ද්‍රයක ඇති විවාහ ප්‍රමාදයට සහ අවිවාහකව සිටීමට බලපාන ග්‍රහ යෝග පාඨකයන්ගේ දැනගැනීම පිණිස සඳහන් කිරීමට කැමැත්තෙමි.

ප්‍රධාන වශයෙන් කේන්ද්‍රයක 7 වැන්න, 7 වැන්න අධිපති, 7 වැන්න අධිපති තැන්පත් නැකත, 7 වැන්න අධිපති පිහිටි රාශිය, 7 වැන්නට එල්ල වන ග්‍රහ දෘෂ්ටි සහ විවාහ කාරක සිකුරු විවාහය සඳහා බලපාන කරුණු වේ.

යම් ස්ත්‍රියකගේ හෝ පුරුෂයෙකුගේ විවාහ ප්‍රමාදය සඳහා බලපාන ප්‍රධාන ග්‍රහ පිහිටීමක් වශයෙන් ශනි 7 වැන්නේ සිටීම සඳහන් කළ හැකිය. ශනි 7 වැන්නේ කිසිඳු ශුභ ග්‍රහ දෘෂ්ටියක් නොමැතිව සිටීම විවාහය බොහෝකල් ප්‍රමාද විය හැකිය. එසේම ශනිගේ දෘෂ්ටිය 7 වැන්න වෙත එල්ලවීම ද විවාහ ප්‍රමාදයට බලපෑ හැකිය. කේතු 7 වැන්නේ සිටීම ද ඉහත ආකාරයටම කේතු ශුභ දෘෂ්ටියක් නොලබා 7 වැන්නේ සිටීම ද විවාහ ප්‍රමාදයට හේතු වේ. ගුරු 7 වැන්නේ සිටීම යහපත් වුවත් එය බොහෝ අයගේ විවාහ ප්‍රමාදයට බලපා ඇත. ගුරු ග්‍රහයා ලෝකෝත්තර ස්වභාවයක් ගන්නා ග්‍රහයෙකු නිසා විවාහයට ඇති කැමැත්ත අඩුකරන බැවින් විවාහ ප්‍රමාදය ඇති වේ. බුධ ග්‍රහයා 7 වැන්නේ සිටීමද විවාහ ප්‍රමාදයට බලපෑ හැකිය. රවි 7 වැන්නේ සිටින අයට විවාහ යෝජනාවක් ලැබුණ ද සහකරු හෝ සහකාරියගේ හැම විටම කුමන හෝ අඩුපාඩුවක් දකින ස්වභාවයක් ඇති වේ. සෑම විටම විවාහය සම්බන්ධ කරණා වලදී අභිමානයක් හෝ අහංකාරකමක් හිතට ගන්නා තත්ත්වයක් ඇති වේ. රවි උච්චව 7 වැන්නේ සිටින අයට මේ තත්ත්වය තදින්ම පවතී. මේ නිසා විවාහ ප්‍රමාදය ඇති කරයි. මීට අමතරව ඕනෑම ග්‍රහයෙකු නීචව හත් වැන්නේ තැන්පත් වීම විවාහය බොහෝකල් ප්‍රමාද වීමට හේතුවිය හැකි බව ද සඳහන් කළ යුතුය.

ඉහත සඳහන් කරන ලද්දේ තනි තනි වශයෙන් ග්‍රහයින් 7 වැන්නේ තැන්පත් වීමෙන් ඇති වන විවාහ ප්‍රමාද දෝෂ වේ. ඒවාට අමතරව කේන්ද්‍රයේ කොතැනක හෝ යෙදෙන වෙනත් ග්‍රහ සංයෝග ද විවාහ ප්‍රමාදයට බලපෑ හැකිය. ඒවා නම් ගුරු ශනි, කුජ ශනි, බුද සිකුරු, ශනි සඳු, ගුරු කේතු, සහ ශනි සිකුරු වැනි ග්‍රහ සංයෝග සඳහන් කළ හැකිය. මෙම ග්‍රහ සංයෝග ද විවාහය බොහෝකල් ප්‍රමාද කිරීමට හේතු වේ.

විවාහ ප්‍රමාදයට බලපාන ප්‍රධාන සාධක අතරට කේන්ද්‍රයක විවාහ කාරක වන සිකුරු නීච වීම, සිකුරු සතුරු රාශී ගතවීම, සිකුරු, සෙනසුරු සමඟ සංයෝග වීම, සිකුරු පාප ග්‍රහයින් කිහිප දෙනෙකුගෙන් පීඩා වීම, සිකුරු සිටින රාශිය දෙපස පාප ග්‍රහයින් තැන්පත්වීම හෙවත් සිකුරු පාපකර්තරී වීම, සිකුරු සෙනසුරුට අයිති රාශියක එනම් මකර හෝ කුම්භ රාශියක සිටීම.

සෙනසුරුට සිකුරු සප්තම දෘෂ්ටියෙන් පෙනීම සහ සිකුරු 6,8,12 යන දුෂ්ට ස්ථාන ගතවීම ද සඳහන් කළ හැකිය.

විවාහ ස්ථාන අධිපති හෙවත් 7 වැන්න අධිපති විවාහය සඳහා බලපාන තවත් ප්‍රධාන සාධකයක් වශයෙන් හැඳින්විය හැකිය. 7 වැන්න අධිපති නීච වීම, 7 වැන්න අධිපති 6,8,12 යන දුෂ්ඨ ස්ථාන ගතවීම, 7 වැන්න අධිපති ශනි සමඟ සංයෝග වීම, 7 වැන්න අධිපති ශනිගේ නැකතක සිටීම, 7 වැන්න අධිපති පාපකර්තරී වීම, 7 වැන්න අධිපති පාප ග්‍රහයින් කිහිප දෙනෙකු සමඟ සංයෝග වීම ද විවාහ ප්‍රමාදයට ප්‍රබල වශයෙන් බලපාන බව සඳහන් කළ හැකිය.

එසේම 7 වැන්නට පාප ග්‍රහයන් කිහිප දෙනෙකුගේ දෘෂ්ටිය එල්ල වීම, හත් වැන්නේ පාප ග්‍රහයින් කිහිපදෙනෙකු සිටීම, 6,8,12 යන දුෂ්ට ස්ථාන අධිපතියෙකු 7 වැන්නේ තැන්පත් වීම ද විවාහ ප්‍රමාදයට හේතු වේ. විවාහ ප්‍රමාදයට බලපාන කාරණා අතරට කේන්ද්‍රයක ලග්නාධිපතිගේ පිහිටීම සහ සඳුගේ පිහිටීම ද ඉතා වැදගත් වේ. සිතට අධිපති සඳු බලවත් ලෙස පීඩාවීම විවාහය කෙරෙහි ඇති ඇල්ම සහ උනන්දුව අඩුකිරීමට හේතු වේ. ලග්නාධිපති සහ සඳු ශනි සමඟ සම්බන්ධ වීම, සඳුගෙන් 7 වැන්නේ ශනි සිටීම සහ ලග්නාධිපති පාපකර්තරී වීම විවාහය ප්‍රමාද කිරීමට හේතු වේ. මීට අමතරව පාප ග්‍රහයෙකුගේ මහ දශාවක් පැවතීම එනම් ශනි මහ දශාව හෝ කේතු මහ දශාව පැවතීම ද විවාහ ප්‍රමාදයට හේතු වේ.

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.