“ලග්නාධිපති ලග්නයේ සිටීමෙන් ඇතිවන පල

සැප්තැම්බර් 25, 2020

මේෂ ලග්නය - 

රාශි චක්‍රයේ පළමු රාශිය වන්නේ මේෂ රාශියයි. චර ලග්නයක් වන මේෂ රාශියෙහි ලග්නාධිපති කුජය. මේෂ ලග්නයට අට අධිපති වන්නේ ද කුජය. එසේ වුවද මේෂ රාශිය කුජගේ මූල ත්‍රිකෝණ රාශිය වීමත් මේෂයට කුජ ලග්නාධිපති වීමත් නිසා ශුභඵල දෙයි. කුජ ලග්නයේ සිටි විට ද ලග්නයෙන් දසවැන්නේ සිටි විට ද ජන්මියා හට බලසම්පන්න ‘රුචක යෝගය’ උදා කරයි. ලග්නය කුජගේ මූල ත්‍රිකෝණ රාශිය වීමත් දස වැන්න තම උච්ච රාශිය  වීමත් නිසා ඉතා විශිෂ්ටය. 

වෘෂභ ලග්නය - 

රාශි චක්‍රයේ දෙවැන්න වෘෂභ රාශියයි. තිර ලග්නයක් වන වෘෂභ රාශියේ ලග්නාධිපති සිකුරුය. සිකුරු නෛසර්ගික ශුභ ග්‍රහයකු නිසාත් ලග්නාධිපති නිසාත් වෘෂභ ලග්නයට ශුභඵල ගෙන දෙයි. සිකුරු ලග්නගත වීම යහපත්ය. එවිට ස්වක්ෂේත්‍ර බලය අත්පත් කරගන්නා සිකුරු ලග්නයේ ශුභ ඵල ජන්මියා හට ලබාදෙයි. මේ නිසා ලග්න ගත සිකුරුගෙන් බලගතු ‘මාලවී යෝගය’ උදා කරයි. මේ යෝගයෙන් උපන් අය ශ්‍රේෂ්ඨ පුද්ගලයන්ය. 

මිථුන ලග්නය - 

රාශි චක්‍රයේ තෙවනි රාශියයි. මෙහි ලග්නාධිපති වනුයේ බුධ ග්‍රහයාය. එම බුධ ලග්නයෙන් සිව්වැන්නටත් අධිපතිය. බුධ ලග්නාධිපති වශයෙන් මිථුන ලග්නයට ශුභපල උදා කරයි. එම බුධ ලග්නයේ හෝ සිව්වැන්නේ තැන්පත් වූ විට බලගතු “භද්‍රා” යෝගය උදාවේ. එසේම රවි, බුධ යෝගය ඉහත ස්ථාන එකක පිහිටීම ද විශිෂ්ටය. 

කටක ලග්නය - 

රාශි චක්‍රයේ සිව්වන රාශිය කටකයයි. ලොවට මහා පුරුෂයන් බිහි කළ ලග්නයකි. දෙස් විදෙස්හි කීර්තිමත් පුද්ගලයන් මෙම ලග්නයෙන් ජන්මය ලබා ඇත. ග්‍රහ ලොව මව් ලෙස හඳුන්වන සඳු මෙම ලග්නයේ ලග්නාධිපතිය. ඒ නිසා සඳු ලග්නාධිපති වශයෙන් මෙම ලග්නයට ශුභපල උදා කරයි. සඳුට අයත් එකම රාශිය මෙය වේ. පුර සඳු ලග්න ගත වූ විට කටක ලග්න හිමියන්ට බලගතු “කුලීර යෝගය” යෙදේ. එම සඳුම එකොළොස් වැන්නේ වූ විට බලගතු “යස යෝගය” උදා වේ. යස යෝගය යෙදීමේ දී සඳු පුර පක්ෂයේ වීම ඉතාම යහපත්ය. 

සිංහ ලග්නය - 

රාශි චක්‍රයේ පස්වැන්න හිමි සිංහ රාශිය හිමිවන්නේ ග්‍රහලොව රජු ලෙස හඳුන්වන රවි ග්‍රහයාට ය. මෙය තේජස් සහිත රාශියකි. වෘෂභයට පසුව තිර ගති වැඩියෙන්ම දැකිය හැක්කේ සිංහ ලග්නධාරීන්ගෙනි. රවි ලග්නාධිපති වශයෙන් සිංහ රාශියට ශුභ පල උදා කරයි. රවි ලග්නයේ මූල ත්‍රිකෝණ බලයෙන් සිටීම හෝ නවවැන්නේ උච්චව සිටීම ඉතා යහපත්ය. තෙවැන්න වන තුලාවේ දී රවි නීච වේ. රවි නීච වීම එතරම් නරක නැත. රජ පවුල්වල අයට අශුභ වුවත් සාමාන්‍ය මනුෂ්‍යයන්ට හොඳය. 

කන්‍යා ලග්නය -

 මිථුන රාශිය හැර බුධ ග්‍රහයාට අයත් අනෙක් රාශිය කන්‍යාවයි. මෙරට රාජ්‍ය නායකයන් පැවිදි පඬිවරුන් මෙම ලග්නයෙන් ජන්මය ලබා ඇත. බුධ කන්‍යා ලග්නයට ශුභඵල උදාකරයි. බුධ ලග්න ගතව සිටි විට බලගතු භද්‍රා යෝගය උදා වේ. බුධ ලග්නයේ දී උච්ච වේ. වෙනත් කිසිදු ලග්නයකදී ලග්නාධිපති ලග්නයේ උච්ච නොවේ. 

තුලා ලග්නය - 

තුලා ලග්නය ග්‍රහ මණ්ඩලයේ සුකොමලිය නමින් හඳුන්වයි. මෙය සිකුරු ග්‍රහයාට අයත් දෙවන ලග්නයයි. ලොව ප්‍රසිද්ධ පුද්ගලයන් විශාල ප්‍රමාණයක් මෙම ලග්නයෙන් ජන්මය ලබා ඇත. තුලා ලග්නයට අධිපති සිකුරු අටවැන්නට ද අධිපති වේ. එබැවින් සිකුරු ලග්නයේම තැන්පත්වීම යහපත් ය. සිකුරු ලග්නගතවීමෙන් මාලවී යෝගය උදා කරයි. තුලා ලග්නයෙන් ඉපිද තුලා, නවාංශකයත් වී නම් වර්ගෝත්තම බලය අත්පත් කර ගනී. ඒ අය තම පවුලේ කැපී පෙනෙන කෙනෙකු බවට පත් වේ. 

වෘශ්චික ලග්නය - 

රාශි චක්‍රයේ අටවැන්න වෘශ්චික රාශියයි. මෙය කීට රාශියකි. එසේම ස්ත්‍රී රාශියකි. තිර රාශියකි. දිවා බල රාශියක් ද වන අතර උතුරට ද බල රාශියක් වේ. ලග්නාධිපති කුජ සතුරු ස්ථානයටද අධිපති බැවින් අඩු පාඩුවකි. කුජ ග්‍රහයා ලග්න ගතවීම යහපත් ය. එවිට ‘රුචක යෝගය’ උදා වේ. ඒ නිසා ජන්මියාට ශුභ ඵල වැඩිපුර ලබාදෙයි. මේ නිසා ජන්මියා බලවත් තෙදවත් කෙනෙකු කරයි. 

ධනු ලග්නය - 

ගුරු ග්‍රහයාට අයත් එක් රාශියකි. මෙම ලග්නය ශුභ ලග්නයකි. මෙම ලග්නයෙන් බොහෝ සුප්‍රසිද්ධ පුද්ගලයන් ජන්ම ලබා ඇත. ධනු ලග්නයට අධිපති ගුරු සිව්වැන්නට ද අධිපති වේ. මෙහි ගුරු ග්‍රහයා ලග්න ගතවීමෙන් ප්‍රබල ‘ගුරු හංස’ යෝගය උදාවේ. ඒ ධනු රාශිය ගුරුගේ මූල ත්‍රිකෝණ රාශිය බැවිනි. සිව්වැන්නේ ගුරු තැන්පත්වීමෙන් ද ‘ගුරු හංස’ යෝගයක් උදා වේ. ඒ සිව්වැන්න ගුරුගේ ස්වක්ෂේත්‍ර රාශිය බැවිනි. මෙම යෝගය යෙදුන ජන්මීන් සත් ගුණවත් පරාර්ථකාමී ධර්මානුකූලව ජීවත්වන පිරිසුදු  සිත් ඇති අය වේ. 

මකර ලග්නය -

 රාශි චක්‍රයේ දසවැනි රාශියයි. මකර ලග්නය සෙනසුරු හෙවත් ශනිට අයත් ලග්න දෙකින් එකකි. මකර ලග්නයෙන් ද ලොව ප්‍රසිද්ධ පුද්ගලයන් බිහි වී ඇත. ශනි ග්‍රහයා මකර ලග්නයට ඉතා වැදගත් ග්‍රහයෙකි. ශනි ලග්නගත වූ විට ප්‍රබල ශශ යෝගය උදා කරයි. ශනි ලග්නය මගින් ගෝචර වන විට ඒරාෂ්ඨක අපලයක් උදා කළ ද මකර ලග්නයට එය එතරම් බල නොපායි. ශනි මකර ලග්නයට ලග්නාධිපතිවීමත් මකර ලග්නය ශනිගේ ස්වක්ෂේත්‍ර රාශිය වීමත් ඊට හේතු වේ. ශනි හට කුම්භ රාශිය මූල ත්‍රිකෝණ රාශිය වන බැවින් දෙවැන්නේ ශනි ජන්මියාහට යහපත් ය. එනම් ධනය ලබා දෙයි. 

කුම්භ ලග්නය - 

කුම්භ ලග්නය ද ශනි ග්‍රහයාට අයත් රාශියකි. කුම්භ ලග්නයෙන් ද විශිෂ්ඨ පුද්ගලයන් බිහි වී ඇත. කුම්භ ලග්නධාරීන්ගෙන් යම් කිසි ගුප්ත බවක් දැකිය හැක. නමුත් සෑම කෙනෙකුම එසේ නොවේ. කුම්භ ලග්නධාරීන් සමාජ සබඳතා ඇති කර ගැනීමේ දී අන්‍යයන්ගේ පැහැදීමට ලක් වෙන ආකාරයේ ගතිගුණ දැකීමට පුළුවන. කුම්භ ලග්නයේ ලග්නාධිපති ශනිය. මෙය ශනිගේ මූල ත්‍රිකෝණ රාශියයි. ඒ නිසා ශනි මකර ලග්නගත වීමට වැඩි බලයක් කුම්භ රාශි ගතවීමෙන් ලැබේ. එබැවින් පංච මහා පුරුෂ යෝගයක් වන “ශශයෝගය” උදා වේ. 

මීන ලග්නය -

  මීන රාශිය ගුරුට අයත් බැවින් ශුභදායකය. මීන ලග්නයට ලග්නාධිපතිවන ගුරු දස වැන්නට ද අධිපති වේ. ඒ නිසා ගුරු මෙම ලග්නයට ඉතා වැදගත් ග්‍රහයෙකි. ගුරු ලග්නයේ සිටි විට ප්‍රබල “ගුරු හංස” යෝගය යෙදේ. තව ද ගුරු දසවැන්නේ යෙදීමෙන් ද  “ගුරු හංස” යෝගය යෙදේ. ගුරු දසවැන්න වන ධනු රාශියේ යෙදීමෙන් රණ හංස යෝගය ද යෙදේ. මේ නිසා උසස් රැකියා, ගරු නම්බුනාම ධනය අනිවාර්යයෙන්ම ලැබේ. 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.