ඇහි බැම, ඇසිපිය හා ඔබ

අගෝස්තු 14, 2020

මුහුණේ ලස්සන පිළිබඳව ඇහි බැම ද වැදගත් තැනක් ගනියි. මේ නිසා අද ඇතැම් කාන්තාවෝ ඇහිබැම කෘත්‍රිම ද්‍රව්‍ය ඇසුරෙන් සකස් කර ගනිති. ඇහි බැම සිහිනියට දිගටියට ඇද ගනිති. 

සමහර කාන්තාවන්ගේ ඇහි බැම දෙස බලන විට ඒ ඉතා ඝණව පිහිටා ඇති බව පෙනී යයි. මෙබදු කාන්තාවෝ ඉතා වාසනාවන්තව යස ඉසුරු සැප ලබමින් සාර්ථක ජීවිතයක් ගෙන යාමේ හැකියාවක් ඇත. ස්වාමියාට මෙන්ම දරුවනට මහත් ප්‍රේමනීය වෙයි. 

සමහර පිරිමින්ගේ ඇහි බැම ඉතා කෙටි ය. මෙබඳු පුද්ගලයෝ කවරම ආකාරයේ ගැටලුවකදී ප්‍රශ්නයකදී ඉතාම නිවැරැදි තීන්දු තිරණ ගැනීමේ දක්ෂයෝ ය. ඒ පිළිබඳව තවත් කෙනෙකුට අභියෝග කළ නොහැකි තරම් විශිෂ්ටය. 

මෙබඳු පුද්ගලයන්ගේ ගතිගුණ දෙස බලන විට ඉතාම කරුණාව, මුදු මොළොක් ගුණාංගයන්ගෙන් හෙබීය. තවත් සමහර පිරිමින්ගේ ඇහි බැම ඉතා වක්‍ර ලෙස පිහිටා ඇත. මොවුන් තුළ ඕනෑම කරුණක් සම්බන්ධව ලජ්ජාවක් බයක්, හිරිකිතයක් කියා දෙයක් නැත. කෙනෙක් මුලා කරන්නට පුදුමාකාර උප්පරවට්ටි දමන්නෙකි. බොරුව, වංචාව, කපටිකම සර්වාංගයේම ඇත. ඒ තුළින් අසන්නන් මුලාවේ දමනුයේ කෙනෙකුට සිතන්නටවත් අපහසු අයුරිනි. පුදුම මායාකාරය. 

කෙනෙකුගේ ඇහි බැම ඉතා සිහින් රෝමවලින් යුක්ත නම් හෝ අවාසනාවන්ත චරිතයකි. අභාග්‍ය සම්පන්නය. අනේක විධ ප්‍රශ්න තුළින් මහත් පීඩා විඳින්නකි. සිත තුළ පවතින්නේ නිරන්තරයෙන් දැවෙන කරදරය. සිතට සහනයක් නැත. විවාහ වුවද එම විවාහ ජීවිතය සාර්ථක නැත. අයහපත් විවාහ ජීවිතයක් ගෙවන්නෙකි. 

සමහරවිට කෙනෙකුගේ ඇහි බැම දෙක එකට ගෑවී තිබීමට පුළුවන. මෙබඳු පුද්ගලයෝ සමාජයට කිසිසේත් ඵලදායි නොවෙති. කුමන අයුරකින් හෝ තමන්ගේම අදහස් ඉටුකරගැනීමට උත්සුක වනවා විනා අනුන්ට තමන්ගෙන් කළ යුත්තක් වේදැයි කිසිසේත් නොසිතන ආත්මාර්ථයම මුල්කරගත් දැඩි සිත් ඇත්තෝ ය. අන්‍යයින් කියන දෑ කිසිත් අයුරකින් නොපිළිගනිතියි. වැඩිහිටි බසට ගරු නොකරත්. කාමුක හැඟීමෙන් වෙළී ගිය අතර කිසි ලෙසකින් වත් විශ්වාස කළ නොහැකි ය. 

ඇහි බැම දීර්ඝ රෝමයන්ගෙන් යුතු වීම තමන්ගේ ජීවිතය සාර්ථකව පවත්වා ගැනීම උදෙසා මදකුදු නොසිතන්නියකගේ ලක්ෂණය. අලස ජීවිතයකට හුරු පුරුදු මොවුහු අන්‍යයින් තමන්ට කටයුතු කරදේ යයි නිතරම සිතත්, පන්සලකට යාම භික්ෂූන් වහන්සේලාගේ ආශ්‍රය, වැදුම් පිදුම් කිරීම මේ කිසිවකට නැඹුරු නොවන ගති ගුණවලින් හෙබි කාන්තාවකි. 

පිරිමියෙකුගේ ඇහි බැම ඉතා දිගු රෝම සහිත නම් එබඳු ලක්ෂණ ඇති කාන්තාවකට වඩා වෙනස් ගතිගුණ පිහිටන බව දේහ ලක්ෂණ ශාස්ත්‍රඥයෝ පෙන්වත්. මොවුහු අවංකය. විශ්වාසදායක ය. ඒ අවංක කම විශ්වාසී බව නිසාම ඔහු වැඩිදුර නොසිතන අනුන්ගේ බසට එක එල්ලේම අවනත වෙති. අනුන්ගේ අදහස්වලට රැවටෙති. තමන් ඕනවාටත් වඩා එය, විශ්වාස කළා. මං හිතුවෙ නෑ එයා මෙහෙම කෙනෙක් කියලා. යන අදහස් පහළවන්නේ අන්‍යයන්ගේ අදහස්වලට රැවටීමෙන් පසුව ය. 

යම් පිරිමියෙකුට කුඩා කෙටි ඇස් පිහාටු නම් ඔහු ඕනෑම සුළු දේකින් කෝප වන්නකි. කෙනෙකුගේ යම් එක වචනය ඔහුට එරෙහිව කඩා පැනීම මෙවැන්නන්ගේ ගතිය. මෙම ඉක්මන් කෝපය ඔහු හානිකර තත්ත්වයට පත් කරයි. සමාජය ‘මේ ඉක්මන් කේන්ති කාරයා හොස්ස ළඟින් මැස්සා යන්න බැරි මිනිසා’ ආශ්‍රයෙන් ඈත් කරයි. ඔහුට සමාජයක් නැත. විවාහයක් සිදු කර ගත්තද නිරතුරු  බිරිඳ සමඟ ජීවත් වනුයේ සුහදව සමගි සම්පන්නව නොවේ. මොහු සමඟ දීග කනවාට වඩා ගෙදර යාම හොඳ යයි බිරිඳට සිතේ. ඉතා අසාර්ථක විවාහයක් වෙයි. 

සමහරවිට ඇස් පිහාටු ක්‍රමවත් පිළිවෙළකට පිහිටා නොතිබිය හැකි ය. අවිධිමත් ලෙස අපිළිවෙලකට පිහිටා ඇති විට හෙතෙම ඉතාම අසරණ පුද්ගලයෙක් බව ඇඟවෙයි. අනේක විධ දුක් කම්කටොලුවලට භාජනය වෙමින් කලකිරුණු ජීවිතයක් ගෙවයි. සමහර විට කෙනෙකුගේ ඇස් පිහාටු දීර්ඝ විය හැකි ය. ඔහු තමන් ගැන පමණක් සලකන, ආත්මාර්ථකාමයෙන් හිස පිරුවා ගත් කපටියෙකි. ගමේ පොදු කටයුත්තකට හෝ පන්සලේ අභිවෘද්ධියට කිසිත් නොකරන වචනයෙන් කුමක් හෝ කියා මග හරින මොවුන් ද සමාජයේ අපි‍්‍රය පුද්ගලයෝ ය. යමෙකුගෙන් සුළු වරදක් සිදුවුවහොත් එය මතකයේ රඳවාගෙන කවර දා හෝ එහි පළිය ගන්නා දුෂ්ට ගතිගුණයෙන් පිරුණු පුද්ගලයෙකි. 

ඇස් බැම කෙටිව මෙන්ම ඉතා ඝණට වේ නම් හෙතෙම නිරතුරු වසනුයේ කෝපයෙනි. කරුණාබර මුහුණක් කිසි ලෙසකින් වත් දක්නට නැත. දුටුවන්ට අපි‍්‍රයය. හොඳට කියන වචනය පවා ඔහු පිළිගන්නේ තමනට කරන නරකක් වශයෙනි. සුළු දෙයකට පවා අනවශ්‍ය ලෙස කෝපවන මෙබඳු තද ඉක්මන් කාරයින්ට සමාජයෙන් කිසිදු ගෞරවයක් පිළිගැනීමක් හිමි නොවෙයි. 

කාන්තාවන්ගේ ඇසි පිය බොහෝ විට ඉතා මොළොක් ලෙස පිහිටා තිබිය හැකි ය. සාර්ථක පවුල් ජීවිතයක් ගෙන යාමේ භාග්‍ය වන්තියක ලෙස සැලකෙන මැය ස්වාමි පුරුෂයාට ඉතා ආදරේ ය. මැය නිසා සැමියා බැබලෙන්නේ ය. ඔහුට යම් වාසනාවක් භාග්‍යයක් උදා වන්නේ නම් ඒ මෙවන් ස්ත්‍රියක නිසා ය. 

සමහර කාන්තාවන්ගේ ඇසිපිය දීර්ඝය. ඇය සැමියාට අවාසනාවකි. මුළු ජීවිතය පුරාම දුක් කම්කටොලු උසුළන ඇයට කිසිදා සැපයක් වේදැයි කිව නොහැකි ය. අභාග්‍ය සම්පන්න කාන්තාවකි. 

සමහර කාන්තාවන්ගේ ඇසිපිය බොහෝ මෘදු ය. රළු නැත. ඝණ නැත. මෙවන් ස්ත්‍රිය රාගාධික, කාමාධික වන අතර නිරතුරු පරපුරුෂයන් කරා යෙති. 

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.