දෝ සතර

මැයි 24, 2019

සෙණසුරු ගේ බලපෑම

සෙණසුරු යන නමින් මැ මෙම ගහයා ගේ රුදු කුරිරු ගතිය හැඟැවෙයි. හෙණ ගැසීම යනු හිටි හැටියේ, බලාපොරොත්තු නුවූ පරිදි ඇතිවන මහත් හානිදායක තත්ත්වයකි. එ වැනි හානිදායක තත්වයන් ඇතිකිරීමට හුරු වූ ගහයා යන අරුත ඒ නමෙහි ඇත. “ඔහුට මේ දවස්වල සෙණසුරු දසාව“ වැන්නක් කියනවා ඇසෙන විට මැ කෙනකු ගේ හිතට එන හැඟුම සිත කම්පනය කරවයි.

සෙණසුරු ගෙන් ඇතිවන තවත් නපුරු අපල තත්වයකි. ඒරාස්ටකය “ යන්න. සේ+රා+අෂ්ටක යන කොටස් තුන එක් වී ඒ වදන සැකැසී ඇත. එ තැන ‘සේ’ යන්න ‘සඳු’ හඟවයි. ‘රා’ නම් උදා රාසිය හෙවත් ලග්නය යි. අස්ටක යනු අට වැනි රාසිය යි. කෙනකු ගේ ජන්ම කේන්දරයේ මේ තුන් පළ හරහා සෙණසුරු ගමන් කරන විට ඇතිවන පීඩාකාරි තත්වය එම වදනින් හැඟැවෙයි . උදා රාසියෙන් (ලග්නයෙන්) මෙන් මැ සඳු සිටින රාසියෙන් අට වැන්න හරහා සෙණසුරු ගමන්කිරීම ද ඒරාස්ටකයකි. එය සඳු ගෙන් අට වැනි ඒරාස්ටකය යි.

මේ සක්වළෙහි හිරු වටා යන ගහයන් හත් දෙනා අතරින් වඩාත් දුරින් පිහිටි ගහයා සෙණසුරු යි. රවි සිට සෙණසුරුට ඇති දුර කිලෝමීටර දස ලක්ස 1418 ක් පමණ වෙතැයි ගණන් බලා ඇත. එ හෙයින් සෙණසුරුට රවි වටා යන එක් ගමන් වටයක් නිම කරන්නට ගත වන කාලය වසර 29 1/2ක් තරම් වෙයි. ඒ අනුවැ සෙණසුරු එක් රාසියක් පසුකැර යාමට වසර 2 1/2ක් තරම් කාලයක් ගනී.

සෙණසුරු ගේ නපුර කොතරම් ද කිව හොත් ඒරාස්ටක අපල කරන රාසියට ඉදිරියෙන් ඇති රාසියට පිවිසි තැන් සිට පීඩාකිරීම අරඹන අතර, ඒරාස්ටක රාසිය පසු කැර ඊළඟ රාසිය ද ඉක්මවා යන තෙක් පීඩා කරයි. ලග්න ඒරාස්ටකයේ පීඩාව ඇරැඹෙන්නේ සෙණසුරු දොළොස් වැනි රාසියට ඇතුළු වූ තැන් සිට යි. එසේ ඇති කරන පීඩාව නිම වන්නේ ලග්නයත්, දෙ වැනි රාසියක් ඉක්මවා ගිය විට යි. ඒරාස්ටක අපල කාලය වසර 7 1/2ක් වන්නේ එහෙයිනි.

සඳු කේන්දරයේ හතර වැනි රාසියේ හෝ දහ වැනි රාසියේ හෝ පිහිටි අයට ඒරාස්ටක කාලය වසර 17 1/2ක් තරම් දික් වෙයි. එ සේ වන්නේ ඒ අයට ඒරාස්ටක තුනක් එක පෙළට යෙදෙන හෙයිනි. සඳු හතර වැනි රාසියේ පිහිටි විට චන්ද්‍රාෂ්ටම,ලග්න, ජන්ම යන ඒරාස්ටක අපල තුන ද, සඳු දහ වැනි රාසියේ නම්, අෂ්ටම , ජන්ම ලග්න යන ඒරාස්ටක අපල තුන ද එක පෙළට යෙදේ. (අස්ටම හා චන්ද්‍රාස්ටමය පමණක් වසර 2 1/2කි)

මේ ඒරාස්ටක කාලවලදී ඇතිවන පීඩාව කවර ආකාරයක පීඩාවක් දැයි දැනගන්නට බොහෝ දෙනා කැමැති වෙති. “චන්ද්‍ර කලා නාඩි” නමැති දෝ සතර පො තේ එක් සිලොවකින් ඒ පිළිබඳ පැහැදිල්ලක් කැර ඇත.

“යද් භාවාෂ්ටමේ මන්දේ

යද් භාවාෂ්ට මීක්ෂිතේ

තද් භාවඞ ක්ලේෂමාප්නෝති

මූර්ත්‍යාදි පල මීරයේත්”

සෙණසුරු යම් රාසියක සිටී ද, ඒ සිටින තැනින් කවර, කවර රාසි දකී ද, ඒ සිටින රාසියත්, දකින රාසිත් කවර, කවර රාසියෙන් අට වැන්න වේ ද, ඒ රාසිවලට අදාළ පීඩා ඇති කරයි.යනු එහි අරුතයි. නිදසුනක් ලෙස කිව හොත්, ලග්නයේ සිටින සෙණසුරුට 3,7,10 රාසි පෙනෙයි. ලග්නය හය වැන්නෙන් අට වැන්න යි. තුන් වැනි රාසිය අට වැන්නෙන් අට වැන්න යි. හත් වැනි රාසිය දොළොස් වැනි රාසියෙන් අට වැන්න යි. දහ වැනි රාසිය, තුන් වැන්නෙන් අට වැන්න යි.

එහෙයින් සෙනසුරු ලග්නයේ සිටින විට ඒ රාසිවලට අදාළ පීඩා කරයි. සෙනසුරු කරන නරක බලපෑම ඒ අයුරින් තේරුම් ගත යුතු වෙයි. ඒ අනුව සෙනසුරු අපල ඇති කරන හැම විට මැ රාසි හතරකට අදාළ වැ පීඩා ඇති කරයි. වෙනත් කිසි මැ ගහයකු ඒ අයුරින් පීඩා කරන්නේ නැත. සෙනසුරු පාප ගහයන් අතර නරක මැ පාපයා හැටියට සැලැකෙන්නේ ඒ නිසා යි. “චන්ද්‍රකලා නාඩියේ” කතුවරයා වූ අච්යුතයන් එක් කුඩා සිලොවකින්, අපල කරන සෙනසුරු ගේ බලපෑම සිදුවන ආකාරය පැහැදිලි කැර ඇත.

ලග්න – ජන්ම, ඒරාෂ්ටකය අපල දෙක මැ වසර 7 1/2 බැගින් බලපෑවත්, අෂ්ටම හා චන්ද්‍රාෂ්ටම ඒරාෂ්ටක දෙක බලපාන්නේ වසර 2 1/2ක් බැගින් පමණි. හත් වැනි රාසිය සෙනසුරු ගේ දිග්බල රාසිය වීමත්, නව වැනි රාසිය පින් (පුණ්‍ය) රාසිය වීමත් ඊට හේතුව ලෙස වියතුන් පෙන්වා දී ඇත.

හේමසිරි කුමාරණතුංග

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
15 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.