සුබසෙතින් සුවය

අගෝස්තු 20, 2021

උතුරු කළුතර – අජිත් කුමාර වයස 36කි

කෙස්යාම නිසා තට්ටය පෑදී ඇත. ප්‍රතිකාරයක් පතමි

 

හිස්හොරි නිසාද, පීනස නිසාද, හිසේ ගිනිකාරකම නිසා ද පවුලේ ආරේ ගති නිසාද (ජාන මත) කෙස් යාම සිදුවේ. ගිනියම් ආහාර අඩු කරන්න. කරවල කෑමද නවතන්න. මෙම ප්‍රතිකාර කර සුවය ලබන්න.

1.අමුනෙල්ලි, කීකිරිඳිය, මුකුණුවැන්න, සමව ගෙන කොටා එළකිරෙන් අනා උදේ හිස ගල්වා පැය 5න් ඉවත්කර (දවල් 12.00ට පෙර) ඇල්දිය නාන්න. සති දෙකකට වරක් බැගින් මාස දෙකක් කරන්න.

2.දවල් රෑ කෑමට පසුව අර්ජනාරිෂ්ඨය මේස හැඳි 2 බැගින් බොන්න. රාත්‍රී 10ට නින්දට පෙර ද බොන්න.

3.භෘංගමාලක තෛලය, ති‍්‍රපලා තෛලය, අම්ල තෛලය 1/4 බැගින් ගෙන මිශ්‍රකර උදේ 8ට පෙර හිස ගල්වන්න. තෙල්ගා විනාඩි 20ක් පමණ හිස හොඳින් මසාජ් කරන්න. මසාජ් කරන තරමට ඉක්මනින් කෙස් ඒවි. තෙල් නොගා රාත්‍රියේදී ද (රාත්‍රී 7-10 අතර) හිස හොඳින් මසාජ් කරන්න.

3.උදේ 7ට සවස 5ට රාත්‍රී 10ට

ව්‍යවන ප්‍රාශවලේහය තේ හැඳි 2 බැගින් ගෙන එළකිරි බොන්න (එළකිරි නොමැති නම් පිටිකිරි සුදට නිවා බොන්න)

පළා වර්ග, එළවළු නිතර ආහාරයට ගන්න. මුං ඇට,කඩල, කව්පි යනාදියත් හැකි හැමවිටම ගන්න. අව්වේ යාම හොඳ නැත. කුඩයක් නිතරම පාවිච්චි කරන්න. දිනපතා ඇල්දිය නාන්න.

 

සුමනාවතී දම්බොක්ක. මගේ දියණියට වයස 18කි. තවම වැඩිවියට පත්ව නැත. ඉතාම කෙට්ටුය. ශරීරය දුර්වලය.

 

පෝෂ්‍යදායි ආහාර ගන්න. එළවළු, පළාවර්ග, පලතුරු, මාළු වර්ග ආහාරයට ගන්න. පහත සඳහන් ඖෂධ ගන්න. මාස දෙක තුනකින් ප්‍රතිඵල ලැබේවි.

ලෞහාසවය දවල්ට රෑට කෑමට පසුව මේස හැඳි 2 බැගින් බොන්න.

2.දිනපතාම තල ගුලියක් දෙකක් කන්න.

3.පුනර්ණවා මණ්ඩුර ගුලි 2 බැගින් උදේ 10ට රාත්‍රී 10ට මී පැණියෙන් දියකර බොන්න.

ව්‍යවන ප්‍රාශව ලේහය උදේ 7ට සවස 5ට තේ හැඳි 2 බැගින් කා එළකිරි හෝ පිටිකිරි බොන්න.

 

සරසවි ශිෂ්‍යයාවක්මි. දෙඅත්වලට දහදිය දමන නිසා ලිවීමේ අපහසුතා ඇත. ලියන කොලද දහදියෙන් තෙමේ. සාමාන්‍ය පෙළ උසස් පෙළ ඉගෙන ගන්නා කාලෙදි තිබුණාට වඩා අධිකව දෙඅත්ලට දහදිය දමයි.

 

මෙම තත්ත්වය මාස තුන හතරකදී හිමිහිට සුවකර ගැනීමට සිතට ගන්න. ඉක්මන් සුවය හිසේ ඇසේ කනේ රෝග තත්ත්වයන් මතු කරාවි. පහත ප්‍රතිකාර කරන්න. මාසයකින් නැවත විමසා වෙනත් ප්‍රතිකාර ලබා ගන්න. සුවය ලැබේවි.

1.රසකිඳ. කලාඳුරු අල, කටුකරෝෂණ, මුද්දරප්පලම්. ඇහැළ කරල් මඳ, පත්පාඩගම් කළන් 2 බැගින් ගෙන වතුර පත 16-2ට සිඳ පෙරා පත 1 බැගින් උදේ 6ට සවස 6ට සීනි මී පැණි දමා බොන්න. දින 8ක්

2.උශිරාසවය දවල් රෑ කෑමට පසුව මේස හැඳි 2 බැගින් බොන්න.

3.චන්දනාසවය එසේම කෑමට පෙර බොන්න.

4.ව්‍යවන ප්‍රාශව ලේහය උදේ 7ට සවස 5ට රාත්‍රී 10ට තේ හැදි 2 බැගින් කා එළකිරි බොන්න.

5.චන්දනාදි තෛලය හිසට දමන්න.

6.කොල්ලු කබලේ බැද කුඩුකර රෙද්දකින් හලා එම පියරු වැනි කුඩු අත්ලේ ගා පිරිමදින්න උදේ සවස

 

මගේ දුවට වයස 20කි. දිවේ මැලියම් බැඳේ. බද්දේගම කාන්ති

 

1.අරළු, රටමිදි, කටුකරෝෂණ, මාසක්කා, කොත්තමල්ලි කලන් 2 මදටිය 8 බැගින ගෙන් වතුර පත 24-3ට සිඳ උදේ 6, සවස 6, රාත්‍රී 10ට, පත 1 බැගින් බොන්න. සවිඳ ලුණු ටිකක් එකතු කර දියකර බොන්න.

මස් කෑම ද , ඇට වර්ග ද කෑමෙන් ටික කලකට වලකින්න. නිතරම ඉදුන පැපොල් ද , අමු පැපොල් මාළු උයා ද කන්න. සුවවේවි.

 

වයස 43ක අවිවාහක අයෙක්මි. ඉක්මන් මෝචනය නිසා පළමු විවාහය අසාර්ථක විය. නැවත විවාහයක් කර ගැනීමට ද බියක් පවතී. ඔබතුමාගෙන් ප්‍රතිකාරයක් පතා ලියමි. (අමල් – කඩවත)

 

1.වැල්මි, රටමිදි, කිරිබදු අල, හාතවාරිය අල,රසකිඳ වඳුරු මෑ ඇට. කළන් 2 බැගින් ගෙන වතුර පත 24-3 ට සිඳ පෙරා පත 1 බැගින් උදේ 6ට සවස 6ට රාත්‍රී 10ට මී පැණි දමා දින 12ක් බොන්න තවත් දින 14ක් නීරමුල්ලිය ඇට, ගොකටු ඇට ද එකතු කර කලන් 1 1/2 බැගින් ගෙන වතුර පත 16-2 ට සිඳ පෙරා උදේ 6ට සවස 6ට පත 1 බැගින් එළඟිතෙල් මේස හැඳි එකක් ද මී පැණි තේ හැඳි එකක් ද එකතු කර බොන්න.

2.දවල්ට රෑට කෑමට පෙර රතිකාමාරිෂ්ඨය ද කෑමට පසුව අශ්වගන්ධ අරිෂ්ඨය ද මේස හැඳි 2 බැගින් බොන්න.

3.දවල් 10ට රාත්‍රී 10ට චන්ද්‍රප්‍රභාවටී 2 , ගෝක්ෂුරාදි වටි 2 අකාර කරභාදි වටි 1 පොල්පලා තැම්බූ වතුරින් බොන්න. නැතිනම් තාප ශක්ති වටි 2 බැගින් පොල්පලා වතුරින් බොන්න.

4.නිතර ඉදුණු පලතුරු කන්න. සීනි කෙසෙල් ඉතාම හොඳයි.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.