ගම්පහ වික්‍රමාරච්චි වෙද විදුහල අංග සම්පූර්ණ විශ්ව විද්‍යාලයක් බවට පත්වීම නිමිත්තෙන් පළවන ලිපි පෙළේ දෙවැන්න

ජනතා සුවසෙත සඳහා මුළු දිවියම කැප කළ ආයුර්වේද චක්‍රවර්තී ජී.පී. වික්‍රමාරච්චි පඬිතුමාගේ බහුජන හිතකාමී චින්තනය හා දර්ශනය
ජූලි 31, 2020

සාර කෑමද සමාචාරද දේය අපහට 

                              දේහ ශක්තිය

ජාත දේසෙට මාතෘ ප්‍රේමය උපදවයි

                         අප දේශ ශක්තිය 

දේහ ශක්තිය දේශ භක්තිය නගා 

                 දෙයි අපෙ ජාති ශක්තිය 

ජාති ශක්තිය නගා ගත් විට අපේ 

              අත්පිට නොවෙද මුක්තිය 

ආයුර්වේද චක්‍රවර්තී, ජී.පී. වික්‍රමාරච්චි පඬිතුමා 

ක්‍රි.ව. 1889 සැප්තැම්බර් 28 වන දින ගම්පහ දිස්ත්‍රික්කයෙහි, සිය නෑ කෝරළේ නැදුන්ගමුවේ කීර්තිමත් වෙදැදුරු, වෙළුන් පෙරේරා වික්‍රමාරච්චි උතුමාණන්ගේ සුජාත පුත්‍රයකු ලෙස එතුමෝ මේ පුණ්‍ය භූමියෙහි ජන්මලාභය ලැබුවාහ. ධාන්‍ය පුණ්‍ය සමලංකෘත දෝන සාරනෝනා ධර්මවතී ලොකු හාමිනේ මාතාවගේ කුසින් බිහි වූ, අපේ ජාතියේ පිනට උපන් මේ පුංචි කුමරාගේ නාමය වූයේ ගේබ්‍රියෙල් පෙරේරා වික්‍රමාරච්චි ය. හය දෙනෙකුගේ සාමාජිකත්වය තිබූ මේ පවුලේ තුන්වැනියා වූයේ මේ පුණ්‍යවන්ත භාග්‍යවන්ත පුත් කුමරා ය. 

යම්තම් බහ තෝරණ වයස වන විටත් අපේ පුංචි වික්‍රමාරච්චි පුතණුවන්ට, ඉමිහිරි සුමිහිරි බෙහෙත්වලින් සුවඳවත් වූ ‘වෙදගෙදර’ තම පියාණන්ගේ අත් ගුණයෙන් හා මෙත්තා, කරුණා, මුදිතාදී ගුණ ගුණාංගයන්ගේ ආශීර්වාදයද ලබමින් නිර්මාණය වන, සිංහල පාරම්පරික වෙදකමෙහි හාස්කම විදහා දක්වන රමණීය ගුණ දෙන බෙහෙත් ගුලි, කල්ක, චූර්ණ හා මහා සිද්ධාර්ථ තෛලය, ප්‍රාණජීව තෛලය, මහා නාරායන තෛලය හා හෙණරාජ තෛලය වැනි සියවස් ගණනක් පුරා මේ වාසනාවන්ත පුණ්‍ය භූමියෙහි විසූ දේශීය වෙදකමට ආදරය කළ හා ඒ වෙදකමට ගරු බුහුමන් දැක් වූ ජනතාවට සුවසෙත ළඟා කර දුන්, වචන තුළින් කියා ලියා වර්ණනා කළ නොහැකි එහෙත් සැබෑ ලෙසටම අත්දුටු ගුණ දෙන ‘ජීවක පරපුරේ’ බෙහෙත් හේත් අත පත ගෑමටත්, ඒ ඉමිහිරි සුවඳ විඳ ගැනීමටත්, තම ආදර්ශවත් පියතුමාණන්ගේ ගුණ සුවඳින් ප්‍රභාමත්ව ඒවා හැදෙන හැටි දැක ගැනීමටත් සපුරාම වාසනාව ලැබිණ.. 

ඒ සමඟම යාබද ගමේ, හේනේගම රජයේ විදුහලෙන් මූලික අධ්‍යාපනය ලබා ගැනීමටත් මේ පුංචි පුතාට හැකිවිය. සිය අදරැති පුතු වෙදකමට මැ හුරු කළ යුතු බව වටහා ගත් වෙළුන් පෙරේරා වික්‍රමාරච්චි මහ වෙද රාළහාමි නැදුන්ගමුව මහ වෙදගෙදර ආසන්නයෙහි පිහිටි, ඒ වන විටද ජනහද දිනාගෙන තිබුණු උත්තරමූල පිරිවෙනට ඒ පුංචි කුමරුවන් භාර කළේ ඉන්පසුවය. බෝධිසත්ව ගුණෝපේත, ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය හික්කඩුවේ ශ්‍රී සුමංගල මහ නාහිමිපාණන් වහන්සේ විසින් ස්ථාපිත කොළඹ මාලිගාකන්දේ දී විද්‍යොදය මහ පිරිවනෙහි ශාඛාවක් ලෙස උත්තරමූල පිරිවෙන ඒ වන විටද පත්ව තිබිණ. 

හේනේගම රජයේ විදුහලෙන් මූලික අධ්‍යාපනය ලබා අනතුරුව උත්තරමූල පිරිවෙනෙහි දීප්තිමත් ශිෂ්‍යයා ලෙස ගරු සම්මාන සහිතව එහි අධ්‍යාපනය නිමකළ වික්‍රමාරච්චි පුංචි පුතාට මී ළඟට හිමි වූයේ දුර්ලභ ගණයේ මහා වාසනාවෙකි. ඒ වන විට ද දේශ දේශාන්තරයෙහි පතල කීර්තියෙන් යුතුව වොරැදුණු, පණ්ඩිත ශිරෝමනී ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය හික්කඩුවේ ශ්‍රී සුමංගල මහා නාහිමිපාණන් වහන්සේගේ නායකත්වයෙන් යුතුව ක්‍රියාත්මක වූ මාලිගාකන්දේ විද්‍යෝදය මහ පිරිවෙනට අභ්‍යන්නර ශිෂ්‍යයකු ලෙස ඇතුළත් වීමට ලැබීම ඒ මහා භාග්‍යයයි. ඒ වන විට මේ මහා විද්‍යා නිකේතනයෙහි උප ප්‍රධාන පදවිය මහගොඩ ශ්‍රී ඥානේශ්වර නාහිමිපාණන් වහන්සේ විසින් දරන ලද අතර, කහවේ ශ්‍රී සුමංගල රතනසාර නාහිමියන් වහන්සේ ද එම ඇදුරු මඩුල්ලේ වියත් ඇදුරු තුමකු ලෙසට ඇප කැප වී කටයුතු කළහ. මෙම මහා වාසනාවෙන් ප්‍රභාවිත වූ අපගේ කථානායකයාණන් වන ගේබ්‍රියෙල් පෙරේරා වික්‍රමාරච්චි තම දිවියේ සූවිසි විය සපුරද්දී ක්‍රි.ව. 1913 දී ශ්‍රී ලංකාවේ ලාබාලම ගිහි පඬිවරයාලෙස ප්‍රාචීන පණ්ඩිත උපාධියෙන් සම්මානිතව විදුදය මහ පිරිවෙණෙන් කිරුළු පළන් බව සඳහන් කිරීම අතිශයෝක්තියක් නොවේ. එදා තිබූ නීති හා ව්‍යවස්ථාවන් අනුව ප්‍රාචීන පණ්ඩිත විභාගයෙන් සමත්වන දක්ෂ ශිෂ්‍යවරයන්ට නොතාරිස් විභාගයට පෙනී සිටීමේ වරයද හිමිවී තිබිණ. මේ අනුව 1917 වර්ෂය වනවිට නැදුන්ගමුවේ මහ වෙදගෙදරින් ප්‍රථම ගිහි පඬිරුවනද, නොතාරිස්වරයා බිහි වී තිබීමට ජාතියේ පිනට සිදුවූ අසිරිමත් දෙයක් ලෙස මෙහි වාර්තා ගෙනහැර ගොස් එය බරපතල පාඩුවෙකි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.