හෙළ දෙරණ ගැන සිහින බොඳවී යද්දී...

පෙබරවාරි 7, 2020

සිය සේනාවේ එකිනෙකා පෙති ගැසී යමින් හෙළ දෙරණ මත පතිත වෙද්දී, සිම්ජා සහ හරේරා ක්‍රෝධයෙන් යුතුව ඒ දෙස බලා සිටියහ. හෙළ දෙරණ ආක්‍රමණයට පැමිණෙද්දී මෙවන් විනාශයක් සිදු වේ යැයි ඔවුන් සිහිනයකින් හෝ සිතුවේ නැත. ඒ වන විටත් ලක්ෂයක් ඉක්මවා ලූ සතුරු සේනාවේ තිස් දහසකට වඩා වැඩි පිරිසක් දෙරණ මත හොවාලන්නට හෙළ බළ සේනාවෝ සමත් වූහ. සිම්ජා මෙහිදී හරේරා දෙස කෝපයෙන් බැලීය.

“මේ නීචයෝ අපේ සෙබළුන් විනාශ කරනවා. හරේරා... වහාම නුඹේ අශ්වාරෝහක සේනාව ඉදිරියට යවනු.”

මේ නියෝගය හිස් මුදුනින් පිළිගත් හරේරා, සිය සෙනෙවියන් අමතා වයඹ දිග කාන්තාර වාසී

අශ්වාරෝහක බළඇණිය ඉදිරියට යවන්නට නියෝග කළේය. එසේම සිම්ජා ගේ ගෝරනාඩුවට අනුව බටහිර කාළවර්ණ දේශයේ දරුණු දළ ඇතුන්ගේ සේනාවද කුංචනාද කරමින් ඉදිරියට ඇදුණහ. දිගු දළ කපා, ඒ වෙනුවට තියුණු යකඩ උල් සහිත විලි සවි කරන ලද මේ හස්තීහු, රුධිර ගන්ධය දැණුනු සැණින් කුපිත වන, යුද්ධයටම පුහුණු කල මහා විනාශකාරී සත්වයින් කොටසක් බවට පත්ව සිටියෝය.

පාබළ සේනාවන් මැදින් වේගයෙන් ඉදිරියට දිව එන්නට වූ සතුරු අශ්වාරෝහක සෙබළුන් තමන්ගේ මුහුණට හමු වූ හෙළ සෙබළුන් ගණනාවක් පෙති ගසා දැමූහ. එසේම ඔවුන්ට පිටුපසින් පැමිණියේ අර හස්තීන්ගේ බළ ඇණියයි. තිරශ්චින ඇත් ගොව්වන් විසින් මෙහෙයවනු ලැබූ මේ දරුණු සත්වයින්, හෙළ සෙබළුන් කිහිප දෙනෙක්ම හොඬින් ගෙන පොළොවේ ගසා, පාගා මරා දමනු දුටු අනෙක් හෙළ සෙබළුන් යුද්ධ භූමියේ සීසීකඩ දුවන්නට වූහ.

මේ සිද්ධිය දෙස මහාසිද්ධ මහරජතුමන් සහ ජයමාලී දේවියත්, අනෙක් ගෝරාවරුන්ද විමතියෙන් යුතුව බලා සිටියහ. හෙළ බළ සේනාවට සිදුවන මේ විනාශය දුටු ධූරා, සිය ගුප්ත විද්‍යා බල අතරතුරදීම මදක් සිහි එළවාගෙන මහා හර්ෂදේවයන් ඇමතීය. ගුප්ත විද්‍යා බල දරාගෙනම උස් හඬින් හෙළ බසින් ඔහු හර්ෂදේවයන් අමතා පැවසූයේ වහාම හෙළයේ කරණම් ශූර මහා චන්‍ද්‍රනාථයන් යුද්ධයට කැඳවිය යුතු බවයි. වනයේ රැකවල් කර සිටි මහා චන්‍ද්‍රනාථයෝ ඒ වන විටත් යුද්ධ භූමියේ සිදුවන සියල්ල දෙස තියුණු දෙනෙතින් බලා සිටි බව කිව යුතුය.

ගතවූයේ නිමේෂයකි. ප්‍රදේශය සිසාරා පැතිර යන ලෙස හර්ෂදේවයන් විසින් නිකුත් කරන ලද

සියුරුහන් හඬත් සමගම එතෙක් වනාන්තරය තුළ රැකවල් කරමින් සිටි හෙළයේ මහා කරණම් බළකායට පණ ආවාක් වැනි විය. චන්‍ද්‍රනාථ කුමරුන් ප්‍රධාන හෙළයේ කරණම් බළකායේ ගෝරාවරුන් විදුලි වේගයෙන් ළඳු කැලෑ අතරින් එළියට පැන, නිහඬවම යුද්ධ භූමිය දෙසට දුවන්නට වූහ.

කරණම් බළකායේ ගෝරාවරුන් සිය අසිපත් සහ තියුණු කෙටි පිහි ඇදගෙන යුද්ධ භූමියට

පිවිසුණත්, මහා චන්‍ද්‍රනාථයෝ දුවනා අතරතුරදීම සිය හිණේ රඳවාගෙන සිටි කිසියම් ලෝහමය අත් වැස්මක් වැන්නක් වමතින් ගෙන දකුණු අතට පළඳවනු දක්නා ලදී. එය හරියටම අංගම් සටන් සම්ප්‍රදායේ කලා කිරිඤ්ඤයක් වැනි වූ අවියක් වූයේය. පිටි අත්ලට සහ ඇඟිලි ඇට වලට ඉහළින් උල් සහිත ගැට තිබූ, මොට අත් වැස්මක් වූ එය, අතේ යටි බාහුවේ වැළමිට දක්වාම වැසෙන ප්‍රබල පස්ලෝ ආවරණයක් වූයේය.

මහා චන්‍ද්‍රනාථයන් මෙසේ වේගයෙන් දිව ගියේ අර දරුණු හස්තීන් සිටි දිශාවටමය. කළ යුත්ත ඔහු දැන සිටියාක් මෙනි. ඔහු සමගම ඔහුගේ හොඳම සහයක කරණම් ශිල්පීන් සිය ගණනක් දෙනා, ඒ ඇත් සේනාව දෙසට විදුලි වේගයෙන් දිව යනු හෙළ බළ සේනාවේ සියලුම දෙනා විමතියෙන් බලා සිටියහ. දුවන අතරතුර දීම කිසියම් කෙටි මන්ත්‍රයක් ජප කරත්ම, චන්‍ද්‍රනාථයන්ගේ වේගය ක්‍ෂණිකව අධි වේගයක් බවට පත්වනු බලා සිටි සෙබළුන්ට පෙනී ගියේය.

හෙළ සෙබළුන් ගණනාවක් මරා දැමූ දැවැන්ත නායක හස්තියා කුංචනාද නගමින් ඉදිරියට පැමිණෙත්ම, ඌට දිස්වූයේ මුළු සිරුරම කාළවර්ණ සන්නාහයකින් වැසුණු කිසියම් හෙළ සෙබළෙක් වේගයෙන් තමා ඉදිරියට දිව එන ආකාරයයි. ඒ දුටු එම ඇත් ගොව්වාද මේ කුහුඹුවකු වැනි හෙළ සෙබළා

මරා දැමීමේ අටියෙන් අකුස්සෙන් අනිමින් අර දරුණු නායක ඇතා ඉදිරියටම මෙහෙයවූයේය. එහෙත් මහා චන්‍ද්‍රනාථයන් යනු කවරෙක් දැයි සතුරු හස්තියා හෝ ඇත් ගොව්වා සදා කාලයටම දැනගන්නට නැත. රිදීමැඩිල්ල වෙල්යාය ඉහළ අහස් තලය බැබළවූ හිරු දෙවිඳුන් පවා එවන් දසුනක් සදා කාලයටම දුටුවා දැයි සැක සහිතය. අති දරුණු නායක හස්තියා වෙතට අධික වේගයෙන් දිව ගිය මහා චන්‍ද්‍රනාථයෝ ජීවමාන මිනී මරණ යන්ත්‍රයක් වැනි මහා හස්තියා ගේ පෙරමුණේ, වට කිහිපයක් ඉදිරියට කැරකුණු අධි වේගවත් ගුවන් කරණමකින් අහසට පැන්නහ. තමා මරා දැමීමට හොඬවැල ඔසවා ලූ ඒ හස්තියාගේ ප්‍රබල හොඬවැල් පහර මග හරවා කරණමකින් අඩි පසළොසක් තරම් ඉහළ අහසේ ජීවමාන හෙණ ගෙඩියක් මෙන් කැරකෙමින් චන්‍ද්‍රනාථයන් පැන්නේ ඇත් ගොව්වා ගේ හිස වෙතටය. සිය අකුස්ස ඔසවා ගැනීමටත් පෙරාතුව පස්ලෝහ ආවරණය සහිත චන්‍ද්‍රනාථ කුමරුගේ ප්‍රබල මිටින් වැදුණු හෙණ පහරක් වැනි අත්

පහරින් හිස් මොළ කුඩු පට්ටම් වූ ඇත් ගොව්වාගේ ප්‍රාණය නිරුද්ධ මළ සිරුර ඇතු පිටින් වැටී බිම පෙරළී ගියේය. හොඬය හරවා සිය පිට මත වුන් සතුරාට පහර දෙන්නට ඇතා ගත් උත්සාහය ව්‍යර්ථ වූයේය. මහා චන්‍ද්‍රනාථයෝ ඇතු පිට මතම හිඳ අස්වාභාවික කරණමක් ගසමින් පැන්නේ හස්තියාගේ දැවැන්ත කුම්බස්තලය වෙතය. යටි උගුරින් නැගුණු තියුණු කෑ ගැසීමක් සමගම මහා චන්‍ද්‍රනාථයන්ගේ ප්‍රබල අත් මිටි පහර නියම තැන, මාරක නිල ස්ථානයටම එල්ල වූයෙන් ඇතු ගේ කුම්බස්තලය පැළී ගියේය.

අහස ගොරවන හඬක් මෙන් මර ළතෝනියක් හස්තියාගේ මුවින් නික්මිණ. ඒ සමගම ඇතු ගේ දෙනෙත කෙවෙණි වළෙන් පිටට පැන නහර වලින් එල්ලෙන්නට වූ අතර, මුඛයෙන් සහ හොඬවැලෙන් පීල්ලකින් මෙන් රුධිරය ගලා යන්නට වූයේය. ඇතු පිට මත සිටගෙනම පංච ලෝහ ආවරණය සහිත සිය සුරත ඔසවා ජයග්‍රාහී රණ ඝෝෂාවක් නැගූ මහා චන්‍ද්‍රනාථයෝ ප්‍රාණය නිරුද්ධ ඇත් මළ සිරුර බිමට වැටෙන්නට පෙරාතුව ඉතා අලංකාර ගුවන් කරණමකින් ඇතු පිට සිට බිමට පැන්නෝය. හෙළයන්ගේ ජය ඝෝෂාව රිදීමැඩිල්ල වෙල්යාය සිසාරා පැතීරී යත්ම, මහා චන්‍ද්‍රනාථයෝ සිය පරිවාර බළ සේනාව කැටුව තවත් සතුරු හස්තීන් සොයා කරණමින් යුද්ධ භූමිය පුරා සැරිසරන්නට වූහ.

හෙළ දේශයේ යක්ෂයන්ට හස්තියා යනු උත්තම වස්තුවක් වූයේය. එසේම හෙළ යක්ෂ ගෝත්‍රිකයෝ ඇතුන්ට පූජනීයත්වයෙන් සැළකූහ. එහෙත් සතුරු ආක්‍රමණ වලදී විදේශ වලින් මෙරටට ගෙන්වන ලද දරුණු ඇත් බළකායන් විනාශ කිරීමට ඔවුන්ට තහංචියක් නොවීය. එම නිසා සිම්ජා විසින් බටහිර කාළවර්ණ දේශයේ සිට හෙළ දේශය ආක්‍රමණයට ගෙන ආ ඇත් බළකායට ද අත්වූයේ ශෝචනීය ඉරණමකි. එක් ඇතෙකු විනාශ කර, එම ඇතුගේ පිටෙන් තවත් ඇතෙකු ගේ පිටට පනිමින් ශිල්ප දක්වන්නට වූ මහා චන්‍ද්‍රනාථයෝ සිංහල පැයක් ගත වෙත්ම, හස්තීන් ගණනාවක ගේ දිවි තොර කළේය. ඒ අතර, චන්‍ද්‍රනාථයන්ගේ පරිවාර කරණම් බළකායේ ගෝරාවරුන්, හරේරාගේ අශ්වාරෝහක බළ ඇණියට මහා විනාශයක් කරමින්, අශ්වයන්ගේ පිටෙන් පිටට කරණමින් පනිමින් සතුරු අශ්වාරෝහක සෙබළුන් නසාලූහ.

පන් සියයක සතුරු අශ්වාරෝහක සෙබළුන්, හෙළ සෙබළුන්ගේ රණ ශූරත්වය හමුවේ එකිනෙකා දෙරණ සිප ගනිද්දී, අධිමානුෂික බලධාරී ගෝරාවරුන් සිය ප්‍රබල පහර වලින් තමන්ගේ ප්‍රතිමල්ලවයන් යුද්ධ භූමියෙන් අතුගා දමන්නට වූහ. හෙළයේ මහා කරණම් බළකායේ ගෝරාවරුන් සිය අසමසම දක්‍ෂතාවය විදහාලමින් සියයක් වූ සිම්ජාගේ ඇතුන් පන්තිය සහමුලින්ම නසා ලන්නට සමත් වූහ. සිම්ජාගේ අවසන් හස්තියාද මර හඬ දෙමින් හෙළ දෙරණ සිපගෙන මිය යද්දී, යුද්ධ භූමියේ ඉතිරිව සිටියේ සතුරු සේනාවේ පාබළ සේනාංක කිහිපය සහ අශ්වාරෝහක සෙබළුන් පන්සිය දෙනාගෙන් කිහිප දෙනෙක් පමණි. හෙළ දෙරණ පිළිබඳ සිය සිහින සියල්ලම බොඳව යද්දී සිම්ජා මහ හඬින් කෑ ගැසීය.

“උන් අපේ ඇතුන් සියල්ලම මරා දැමුවා... නීච හෙළයන්ගෙන් පළි ගනිල්ලා... ඉදිරියටම යමවු... තවමත් අපේ සේනාවේ ශක්තිය වැඩියි...”

එහෙත් ඒ නියෝගය පිළිගන්නට ආක්‍රමණික බළ සේනාවේ සෙබළුන් සූදානම් නොවූහ. දැනටමත්

ඔවුන්ට කරගත් මෝඩකම් සිහිපත් වූවා වන්නට ඇත. බොහෝ දෙනෙකු ආපසු හැරී යුද්ධ භූමියෙන් ඉවතට දුවන්නට වූ අතර, තවත් පිරිසක් වේගයෙන් දිව ගොස් වෙල්යාය අසල වූ රිදී ඇළට පැන්නේ පිහිනා හෝ එගොඩ වීමටය. එහෙත් ඔවුන් ප්‍රමාද වූවා වැඩිය. රිදී ඇළ වටා රැකවල් කළ උදකාභිරාක්‍ෂ කුමරුන් සහ අනෙක් පරිවාර ගෝරාවරුන් ක්‍ෂණිකව දිය යට කිමිදී ගියේ ඔවුන්ගේ ඉලක්කය සපුරා ගැනීමටය. දියට පනින සෑම සතුරු සෙබළෙක්ම අදෘෂ්‍යමාන අත් වලින් දිය යටට ඇදගත් අතර, තත්පර කිහිපයකදී ඔවුන්ගේ මළ සිරුරු දිය මත පා වෙමින් පහතට ගසාගෙන යනු දක්නා ලදී. ඉවක් බවක් නොමැතිව දියට පැන්න සියලුම සතුරු සෙබළුන් ගේ ජීවිත රිදී ඇළේ පහතට ගසාගෙන ගියේය.

මතු සම්බන්ධයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.