අඩ සියවස සපුරන සුබසෙත

මැයි 24, 2019

මෙම වසරේ (2019) මැයි මස 28 වැනි දාට ‘සුබසෙත’ පතට අඩ සියවසක් සපිරෙයි. “යහපත සෙත සලසන පත” යන අරුත ඒ නමෙහි ගැබ් වී ඇත. ඉංගිරිසි පාලන සමයේ මෙ රටේ බාල පරපුරට දැනුම ලබාදීමට පාසල් ඇති කොටැ ඉගැන්වීමේ කටයුතු කිසියම් අයුරකින් පුළුල් කළ බව සැබෑ වුවත්, ඒ ඉගැන්වීමේ පිළිවෙල අනු වැ හෙළ දැයට (සිංහල ජාතියට) වසර දහස් ගණනක් තිස්සේ උරුම වී තිබුණු දැනුම යටපත් කරවා පරගැතිබව වැඩි දියුණු කරවන වැඩ පිළිවෙලක් ද එහි ඇතුළත් වූ බව නිබොරු යැ. සිංහල බස දැනුම පිරිහී යාම, සිංහල වෙදකම යටපත්වීම, ගුප්ත විදු දැනුම මඟහැරවීම, හෙළ සිරිත් විරිත් හෑල්ලු කොට සැලැකීම, මෙ රට දෑ බාල කොටැ පිටරට දෑ උසස් කොටැ සැලැකීමට පුරුදුවීම සිංහල සමාජයේ පැතිර ගියේ එහෙයිනි.

එ බඳු යුගයෙකැ ‘සුබසෙත’ පත ඇතිකරවා අඩ සියවසක් එය පවත්වා ගනිමින් සිංහල දැයට කරන ලද මෙහෙය අගය කළ මනා යැ. සිංහල බුදුනු පවුලෙක දරුවකු ගේ උපත සිදු වූ විට ඒ පවුලේ ඇත්තන් නොවරදවා මැ එම ළමයා ගේ ජන්ම කේන්දරය සාදවා ගන්නා බව සැබෑ වුවත් එයින් නිසි පල ලබන පිරිස ඉතා අඩු යැ. නිදසුනක් ලෙස කිව හොත් “ඒරාස්ටකය යන වදන බොහෝ නො දන්නා වදනක් වුවත්, ඒරාස්ටකය යනු කුමක් ද? එයින් ඇති වන පල විපාක කවරේද? ඒ පීඩා මඟහරවා ගැනීමට කුමක් කළ යුතු ද? යන දැනුම ඇතියන් ඉතා අඩු යැ. ඒ ළමයා ගේ ඉගෙනීම යොමු කළ යුත්තේ කවර අතට ද යන දැනුම ඇති අයත් ඉතා අඩු යැ.

ඒ ළමයා වැඩි වියට පත් වැ විවාහ වන වයස එළඹුණු විට දෛවානුරූප වැ ඒ කටයුත්ත සකසා ගත යුත්තේ කෙ සේ ද? යන දැනුම ඇති අයත් ඉතා අඩු යැ. තම ළමයාට දියුණුව සලසා ගත හැක්කේ පාසලෙන් හා සරසවියෙන් හා ලබා දෙන දැනුම අතින් නො වැ, වැඩිපුර මුදල් උපයා ගන්නා පලපුරුද්ද ඇතිකරවන කටයුත්තකට යොමුකිරීමෙන් බව තේරුම් ගන්නට බැරි ඇතැම් දෙමාපියන්, ශිෂ්‍යත්ව විභාගයෙන් හෝ උසස් පෙළ විභාගයෙන් හෝ අසමත් වූ ඇතැම් දරුවනට කරන ලද අමානුෂික දඬුවම් ගැන ද අද බෙහෙවින් අසන්නට ලැබේ.

නෑනා, මස්සිනා විවාහය ද දෛවානුරූප දෙයකි. සිදුහත් කුමරු විවාහ වූයේ ද සිය නෑනා කෙනකු වූ යසෝදරා කුමරිය සමඟ යැ. නෑනා, මස්සිනා විවාහය ද ජන්ම කේන්දරයේ පෙන්නුම් කරන දෙයකි. ඒත් අද එ වැනි විවාහයකින් අංග විකලයන් බිහිවෙතියි යන මහ බොරුවක් පැතිර ගොස් ඇත.

සුබසෙත දෝ සතර පතින් කැරෙනුයේ මෙ බඳු නොමඟ යාම් හැකි තරම් දුරට මඟහරවා සුබයක් සෙතක් සලසා ගැනීමට මඟ පෑදීම යැ. යටත් විජිත සමයේ අදිරදවාදීන් කළේ සිංහලයා ගේ පාරම්පරික දැනුම හෑල්ලු කරවා, පරගැති බවට පත් කොටැ, ඒ පරගැතිකම දිගින් දිගට මැ පවතින්නට මඟ පෑදීමෙන් සියත් බව මකාලීම යැ. එයින් රටට දැයට වී ඇති පාඩුව මෙ පමණ යැ යි කිව නොහැක. එ බඳු යුගයෙක සුබසෙතින් කරන ලද මෙහෙය ඉතා යහපත් යැ.

සුබසෙතට පනස් වසරක් සපරෙන මෙ කල ඒ මෙහෙය අගය කළ යුතු යැ. ඒත් ඒ අගය කිරීමෙන් පමණක් සෑහීමකට පත් විය නොහැක. ඒ අගය තව තවත් වැඩි දියුණු කැර රටට දැයට තව තවත් පුළුල් මෙහෙවරක් කරන්නට මඟ සලසා ගත යුතු යැ.

ඒ සඳහා දෝ සතර දැනුම, හෙළ වෙදකම් පිළිබඳ දැනුම,ගුප්ත විදු දැනුම වැඩි දියුණු වන මං පාදා ගත යුතු යැ. සුබසෙතින් කරන ලද්දේ කිසියම් පමණකින් ඒ දැනුම සමාජයට යොමුකිරීම යැ.

ඇදුම රෝගයෙන් දුක්විඳින්නකුට එක් දිනකින් සපිරි සුවයක් සැලසිය හැකි කෙම් ක්‍රම ඇත. ඇඟේ ඉන්නන් මතුවීම එක් දිනකින් වැළැක්විය හැකි කෙම් ක්‍රම ඇත. සර්පයකු දස්ට කළ විට ඊට නිසි පිළියම් ලබා ගන්නා තුරු එම විස සිරුර පුරා පැතිර යාම වළක්වා ගත හැකි මන්ත්‍ර ක්‍රම ඇත. ඒත් ඒ දැනුම ඇති අයට එම දැනුම පිළිබඳච රට පට ලැබී නැත.

යටපත් වී යන එ බඳු දැනුම අතුරුදන්වන්නට නොදී එ මඟින් වැඩි දෙනකුට සුබයක් සෙතක් සලසා ගන්නට මඟ පාදමින් “සුබසෙත” දිගුකල් දිනේවා යි ආසිරි පතම්හ.

 

හේමසිරි කුමාරණතුංග

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.